Emil Rohan
- මොහොමඩ් සියාම් ලක්ෂ ගණන් වටින අත් ඔරලෝසු හොයන්න ගිහින් හොඳම මිතුරාගේ ප්ලෑන් එකෙන් ඝාතනය වූ හැටි
- කොන්ත්‍රාත්තුව ලක්ෂ 30ක්ලු
- සිද්ධිය CCTV කැමරාවේ
- මරන්න එපා කීවම ‘‘මචං…කරන්න දෙයක් නෑ‘‘ හොඳම යාලුවා කියලා
බම්බලපිටියේ සාගර පාරේ පදිංචිව සිටි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වාස් ගුණවර්ධන හා ඔහුගේ පුතා ඇතුළු 6 දෙනෙකුට අධිකරණය මඟින් මරණ දඬුවම නියම කරණු ලැබුවා.
2013 වසරේදී සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වුණු අතර ඇතැම් වාර්තාවල පැවසුනේ මොහු මරා දමා ඇත්තේ ලක්ෂ තිහක මුදල් කොන්ත්‍රාත්තුවක් මත බවයි.කෝටිපති ව්‍යාපාරිකයා මරවන්නට කොන්ත්‍රාත්තුව දී ඇත්තේ ඔහුගේ ළඟම මිතුරෙක් බවටද වාර්තා පළවුණු අතර ඔහු පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට කොටුවුණි. ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සියාම් මරා දැමීමේ වගතුග අනාවරණය කරගත හැකිවිය.
සියාම් අතුරුදන්වූයේ 2013 මැයි විසි දෙවැනිදා රාත්‍රියේදීය. ඔහු දෙහිවල පිහිටි සපත්තු කර්මාන්ත ශාලාවේ සිට නිවෙස බලා පැමිණියේය. පසුව මිතුරකු සමඟ සියාම් නිවෙසින් පිටව ගොස් ඇත්තේ ඉන් අනතුරුවය. ඉන්පසු සියාම් ගැන කිසිදු තොරතුරක් නොතිබිණි.සියාම් සමඟ නිවෙසින් පිටව ගිය මිතුරා ද ඔහු කලක් තිස්සේ ඇසුරු කරන අයෙකි. සියාම්ගේ ඥාතිහු ද මේ මිතුරා ගැන හොඳින් දනිති. ව්‍යාපාරිකයකු වන ඔහු සියාම් සමඟ මුදල් ගනුදෙනු පවා කර ඇතැයි පැවසේ.
කෙසේ වෙතත් 22 වැනිදා නිවෙසින් පිටව ගිය සියාම් යළි ගෙදර නොපැමිණීම කාගේත් විමතියට හේතු විය.සියාම් නොපැමිණියත් ඔහුගේ මිතුරා නිවෙසේ සිටීම කාටත් ගෙන දුන්නේ සැකයකි. ඥාතීන් මිතුරාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ එදා රෑම තමා සමඟ රාත්‍රී ආහාරය ගත් සියාම් යළි නිවෙසට යන බව පවසා නික්ම ගිය බවය.
මිතුරා ගැන සැක නොසිතූ ඥාතීන් සියාම් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුව ද ඉන් ඵලක් නොවිණි. අවසානයේ සියාම්ගේ අතුරුදන් වීම ගැන බම්බලපිටිය පොලීසියේ පැමිණිල්ලක් සටහන් කරන්නට සියාම්ගේ ඥාතීන් ගියේ සියාම් සමඟ නිවෙසින් පිටවූ මිතුරා ද සමඟිනි. ඔහු පොලීසියට පැවසුවේ තමා සියාම් සමඟ ගාලු පාරේ අවන්හලකට ගොස් තේ බීමෙන් පසු සියාම්ගෙන් සමුගෙන නිවෙසට ආ බවය.
පොලිස් පොතේ සටහන් වූ පැමිණිල්ල පිළිබඳ මූලික පරීක්ෂණ පැවැත්වූ බම්බලපිටිය පොලීසිය ඉදිරි පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කෙරුණේ කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් අනුවය. පසුදාට පහන්වෙද්දී සියාම් නිවෙසින් බැහැරව ගමන් ගත් මෝටර් රථය නුගේගොඩ කන්දෙවත්ත පාරේ
අතහැර දමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබිණි. මේ පිළිබඳව අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ඇරඹු අතර අතහැර දමා ගිය වාහනයේ ඇඟිලි සලකුණු ද පරීක්ෂණය කරන නිලධාරීන්ගේ විශේෂ සැලකිල්ලට යොමු විය.

කිසියම් හෝඩුවාවක් දැනගැනීමේ අදිටනින් පරීක්ෂණ ආරම්භ කළ නිලධාරීන්ට නෙත ගැටුණේ මෝටර් රථය දමා ගිය තැනට නුදුරු නිවෙසක සවිකර තිබූ සීසීටීවී කැමරාවකි. මීටර කිහිපයක් ඔබ්බෙන් පිහිටි කැමරාවේ කිසියම් හෝඩුවාවක් වත් සටහන් වී ඇත්දැයි සැක කළ නිලධාරීහු උසස් නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව එය සියුම් ලෙස පරීක්ෂාවට භාජනය කෙළේය.
එහි සටහන්ව තිබුණේ සියාම් සහ ඔහුගේ මිතුරාගේ පැමිණීමත් ඉන් පසුව එතැනට එන වෙනත් කණ්ඩායමක් සියාම් රැගෙන යන අන්දමත්ය. සියාම් සමඟ ඔහුගේ මිතුරා එම මෝටර් රථයේ සිටින අයුරු කැමරාවේ පැහැදිලිව සටහන් වී තිබුණි.
විමර්ශනවලට අපූරු හෝඩුවාවක් ලබාදුන් මේ දර්ශන පෙළ පදනම් කැරගෙන කොළඹ අපරාධ කොට්ඨාසය සියාම්ගේ මිතුරා පසුපස හඹා ගියේ ඉන් අනතුරුවය. මිතුරා අත්අඩංගුවට ගන්නා මොහොතේත් සියාම්ගේ ඥාතීන් ඒ සම්බන්ධව අකැමැත්ත ප්‍රකාශ කරන්නේ සියාම් හා මිතුරා අතර තිබු දැඩි මිතුරුකම නිසාය. දෙමටගොඩ අපරාධ කොට්ඨාසයට මිතුරා රැගෙන ගොස් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී සියාම් පැහැරගෙන යාමේ තොරතුරු අනාවරණය විණි.
මේ අතර නාඳුනන පුද්ගලයකුගේ සිරුරක් දොම්පේ කැලෑබද ප්‍රදේශයක තිබි සොයාගත් අතර එම සිරුර හඳුනා ගැනීමට කිසිවකු අපොහොසත් වීම නිසා සිරුර ගම්පහ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.
පසුව සැකකාර මිතුරාගෙන් ලත් තොරතුරු අනුව එම සිරුර සියාම්ගේ බවට ප්‍රකාශ වීමෙන් පසු ඥාතීන් විසින් එම සිරුර තම ඥාතියාගේ බව පැවසීමත් සියාම් මරා දැමීම පිටුපස සිටින පුද්ගලයන් කවුදැයි හෙළි වෙමින් පවතින කරුණු නිසාත් පොලිස්පතිවරයා විසින් සියාම් ඝාතනයේ වැඩිදුර පරීක්ෂණය රහස් පොලීසිය වෙත පවරනු ලැබිණි.
රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණි මතුරට මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සැකකාර මිතුරාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සියාම්ගේ ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට රහස් පොලීසියට හැකි විය.සියාම් වටිනා අත්ඔරලෝසුවලට දැඩි කැමැත්තක් දැක්වූ අයෙකි. ඒ බව සියාම්ගේ මිතුරා ද හොඳීන් දනී. ඊට අමතර මිතුරා විසින් සියාම්ට ලක්ෂ ගණනක මුදලක් ද ගෙවීමට තිබී ඇත. මුදල් අතින් පහතටම වැටි සිටි මිතුරා ඊළඟට ඇල්ම බැල්ම හෙළා ඇත්තේ සියාම් සතු විශාල ප්‍රමාණයේ සපත්තු අලෙවිසල වෙතය.
සියාම් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත්තේ ද මේ මිතුරා සමඟිනි. එය තමාට අයිති කරගැනීමේ අදහසක් ද ඔහු තුළ පැවතී ඇතැයි කියති. ඒ අනුව සියාම්ගේ ඝාතනයේ සැලසුම සකස් කර ඇත්තේ මිතුරා විසිනි. සියාම් ඝාතනය කරන කණ්ඩායමට ලක්ෂ 30 ක මුදලක් දීමට ද පොරොන්දු වී ඇතැයි ද කියැවේ.විසි දෙවැනිදා මිතුරා නිවසේ සිටි සියාම්ව ගෙදරින් පිටතට ගෙන ගොස් ඇත්තේ වටිනා අත්ඔරලෝසුවක් ඇති බව කියමිනි. එය අඩු මිලකට ගත හැකි බවත් ඒ සඳහා නුගේගොඩට යා යුතු බවත්ය. ඔරලෝසුවලට දැඩි ලෙස
ප්‍රිය කළ සියාම් කිසිදු සැකයකින් තොරව මිතුරා සමඟ නිවෙසින් පිටව ගොස් ඇත.
කොල්ලුපිටියේ රාත්‍රී හෝටලයකින් තේ පානය කළ ඔවුන් සියාම්ගේ මොටෝ රියෙන්ම නුගේගොඩට පැමිණ ඇත. වාහනය මහමඟ නතර කර සිට ඇත්තේ ඔරලෝසුව ගන්නට මිතුරකු එන බව කියමින්ය. පසුව අනාවරණය කරගෙන ඇත්තේ සියාම්ව ඒ මොහොතේ පැහැරගෙන ඇති බවය. පසුව ඔහුගේ සිරුර දොම්පේ කැලෑවකින් හමු විය.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස් පොලීසිය සියාම් පැහැරගෙන ගිය කණ්ඩායම ගැන පුළුල් විමර්ශනයක් ඇරඹීය. ඔවුන්ගේ හැඩරුව සීසීටීවී කැමරාවේ ද සටහන්ව ඇත. සියාම් මරා දමන්නට පෙර ඉන් ලක්ෂ පහක් ඝාතකයන්ට ලබා දී ඇති බව ද කියැවේ.සියාම් අතුරුදන්වූ දා ඔහු සමඟ සිටියේ හොඳම මිතුරායි. අට අවුරුද්දක් තරම් පැරණි හිතවත්කමක් මේ
දෙදෙනා අතර වූහ. මිතුරුකම නිසාම සියාම් ඔහුගෙන් උදව්වක් ඉල්ලීය. ඒ සිංහල අවුරුදු නිවාඩුවට පවුලේ සාමාජිකයන් සමඟ සිංගප්පූරු බැංකොක් විනෝද චාරිකාවකට පිටත්ව යාමටය. මේ දින කීපය ඇතුළත දෙහිවල ෆැක්ටේරිය බලා කියා ගන්නා ලෙස සියාම් මිතුරාට කීවේය.
සියාම් පිටරට ගියේය. මිතුරා දෙහිවල ෆැක්ටේරියට ඇතුළු විය. එය දුටු ඔහු අන්දමන්ද විය. එහි හතර කොනම සැරිසැරූ ඔහු මවිත විය. ඒ මේ සුවිශාල කර්මාන්ත ශාලාවෙන් කොතරම් ධනස්කන්ධයක් උපයා ගත හැකිදැයි සිතුණු නිසාය. සැබැවින්ම සියාම් මෙරට තුළ ආනයනික සපත්තුවර්ග අලෙවියට නම් දැරූ ව්‍යාපාරිකයෙකි. දෙහිවල කර්මාන්ත ශාලාවේදී කළේ පිටරටින් කොටස් වශයෙන් ගෙන්වන සපත්තුවල කොටස් එකලස් කිරිමය.
දෙහිවල නැවතී සිටි දින කීපය තුළ මිතුරාගේ සිතට යමක් වද දුන්නේය. ඒ මේ කර්මාන්ත ශාලාව තමන් සතු කරගැනීමට ඇත්නම් යන සිතිවිල්ලයි. නමුත් මිතුරුකමට ඉල්ලීමක් කළ පමණින් සියාම් මේ කර්මාන්ත ශාලාව තෑගි නොදෙන බව ඔහු දැන සිටියේය. මේ බලාපොරොත්තුව ඉටුකරගැනීමට එකම මඟ සියාම් අවසන් ගමන් යැවීම බව මිතුරා සිතීය. එතැන් පටන් ඔහු සැලසුම් කළේ සියාම් මෙළොවින් පලවා හැරීමටය.
හිතවත් පිරිසක් සොයා ගිය මිතුරා, සියාම් මැරවීමට කොන්ත්‍රත්තුවක් දුන්නේය. සියාම්ගේ අබල දුබලකම් ඇසුරු කළ කාලයේදී ඔහු හොඳින්ම දැන සිටියේය. ඔහුට තිබුණ අත් ඔරලෝසු උන්මාදයද වටහාගෙන සිටියේය. සියාම් පැලඳ සිටි අත් ඔරලෝසුවේ වටිනාකම ද ලක්ෂ විස්සක් ඉක්මවීය. මේ දුබල තැනින් ප්‍රයෝජනය ගෙන පහසුවෙන්ම සියාම්ව ගොනාට අන්දවන්නට මිතුරා තීරණය කළේය. ඒ වන විටත් ඔහු සියාම්ට කෝටි තිහකටත් වඩා ණය වී සිටියේය. මේ ණය බරින් නිදහස්වීමට පහසුම මඟ සියාම් මෙලොවින් තුරන් කිරීම බව ඔහු නැවතත් සිතුවේය.

“මිරිහානේ තැනක සුපිරිම වොච් එකක් තියෙනවා… අපි දැන්ම ගිහින් බලමු…නැත්තම් වෙන කවුරුහරි ගනී…
ඒක වටින්නේ සියාම්ටම තමයි…”
අත් ඔරලෝසු ලෝකයේදී තව එකෙකුට දෙවැනි වන්නට අකමැති සියාම් මිතුරාගේ කීමට එකඟ විය.මේ තම අවසන් ගමන බව නොදත් සියාම් සුපිරි මෝටර් රථයෙන්ම ඒ ගමන පිටත් වුයේ මිතුරා සමඟය. ඔරලෝසුව බලන්නට මිරිහානට යන අතර මඟ හැව්ලොක්ටවුන් හිදී මේ දෙදෙනා හෝටලයටත් ගොඩ වැදී බඩකට පුරා කෑහ. ඉන් පසුව දෙදෙනා මිරිහානට ගියේ වටිනා ඔරලෝසුව මිලදී ගන්නටය. එහෙත් ඒ වන විටත් පිරිසක් මිරිහානේ දී සියල්ල සැලසුම්කර තිබුණි. කුමක් සිදුවන්නේද කියාවත් සිතා ගැනීමට ඉඩක් නොදීම ඔවුහු සියාම්ව පැහැර ගත්තේ එතැනදීය. ඒ අත පැලඳ සිටි ලක්ෂ විස්සක ඔරලෝසුව ද ලක්ෂ එකහමාරකට වඩා වටිනා ජංගම දුරකථනය සහ තවත් විශාල මුදලක් ද සමඟය.
සියල්ල නිමාකළ මිතුරා කිසිවක් නොවුණු ගාණට ගෙදර ගියේය. සියාම් නොපැමිණි විට ඥාතීහු ඒ පිළිබඳ ඔහුගෙන් විමසූහ. රාත්‍රී අටට ආසන්න වේලාවකදී සියාම් විසින්ම තමාව ගෙදරට ගෙනැවිත් ඇරලවූ බව ඔහු කීවේය. සියාම් නිවෙසට නොපැමිණීම පිළිබඳ කලබල වුණු මිතුරා ද කෝටිපති මිතුරා ආගිය අතක් නැතැයි කියමින් ඥාතීන් සමඟ එක් වී පොලිසියේ පැමිණිල්ලක් ද දැමීමය. පොලිසි කිහිපයකට ගොස් සියාම්ව ද සෙව්වේය.
පොලිසිය සියාම්ව සොයන අතරේ නාඳුනන පිරිස සූදානම් වූයේ මේ තරුණ ව්‍යාපාරිකයාව මරා දමන්නටය. එහෙත් ඔවුන් ඉදිරියේ සියාම් ජීවිතය ඉල්ලා පින් සෙණ්ඩු වූයේ තමන්ගේ දරුවන් සිහි කරමිනි. සියාම්ගේ දරු තිදෙනා පසුවන්නේ අවුරුදු අටේ සිට මාස එකොළහ දක්වා වයස් වලය.මේ කන්නලව්වට හිත උණුවුණු නිසාදෝ සැකකරුවන් පිරිස මිතුරාට දුරකථනයෙන් ඇමතුවේ “ හිටපං අපට කොන්ත්‍රාත් එක දුන්න එකාට අපි කෝල් එකක් දෙන්නම්…” කියමිනි. එවිට මිතුරාගෙන් සියාම්ට ලැබෙන්නේ
මේ පිළිතුරයි.
“මචං…කරන්න දෙයක් නැහැ…”
ඉන්පසුව සියාම්ගේ ඉරණම සැකකරුවන් විසඳන්නේ ම්ලේච්ඡ අයුරිනි. හිසට වෙඩි තබා නොනැවතුණු ඔවුහු සියාම්ගේ පපුවටත් වෙඩි තැබූහ. ගෙල වයරයකින් තද කළේය. අතකද තදබල ලෙස තුවාල දක්නට ලැබුණු බව සියාම්ගේ ඥාතීහු පවසති.ව්‍යාපාරික ස්ථානය හිමිකරගැනීමේ අදහසින් මිතුරා මේ අපරාධය කිරීමට පෙළඹෙන්නට ඇතැයි ඔවුහු කියති.
මේ අයුරින් මරා දැමුණු සියාම්ගේ මළ කඳ ගෙන ගොස් දමන්නට සැකකරුවන් තෝරා ගන්නේ ගම්පහට අයිති දොම්පේ ප්‍රදේශයේ පාළු ඉසව්වකි. ගම්මු මේ මිනිය දැක ඒ පිළිබඳ මුලින්ම දැනුවත් කළේ දොම්පේ පොලිසියයි. එහෙත් ඒ වන විට මේ කාගේ කවුරුන්දැයි කීමට දන්නා කිසිවකුත් නොවීය. ඒ නාඳුනන මළ සිරුර පිළිබඳ ආරංචි වූ සියාම්ගේ ඥාතීහු මැයි තිස් එක් වැනිදා මිනිය සියාම්ගේ බව සැකහැර හඳුනාගත්හ.
සියාම් ඝාතන විමර්ශන පිළිබඳ මුලින් ඥාතීහු තෘප්තිමත් නොවූහ. අනතුරුව මොවුහු ඉහළ බලධාරීන් හමුවූහ. පොලිස්පතිතුමාටත් කොළඹ බාර ඩී.අයි.ජී ටත් මේ අපරාධය පැය හතළිස් අටක් ඇතුළත විසඳා දිය යුතු බවට නියෝග ලැබෙන්නේ ඒ අනුවය. කොළඹ අපරාධ කොට්ඨාසයට එම විමර්ශන බාර විය.සියාම් ඝාතනය සඳහා රැගෙන ගිය කැබ්රථය කොළඹ අපරාධ විමර්ශන ඒකකයට අයත් වාහනයක් බව අනාවරණය වීමෙන් අනතුරුව සියාම්ගේ ඝාතනයට වෙනත් හැඩයක් එක්විය. සියල්ල උඩු යටිකුරු කරමින් අනාවරණය වූයේ ඉතා නිර්භය හා සෘජු තීරණ ගන්නා පොලිස් නිලධාරියකු ලෙස නම් දරා සිටි බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ අනුදැනුම මත සියාම්ගේ ඝාතනය සිදුවී ඇති බවකි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කොට නිදහස් කරනු ලැබූ අතර ඔහු පවසා තිබුණේ තමා මෙම ඝාතනයට කිසිසේත්ම සම්බන්ධතාවක් නොමැති බවයි.එහෙත් විමර්ශන කටයුතු නතර වූයේ නැත. දිගින් දිගටම කළ විමර්ශනවලින් පසුව සියාම්ව ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවි දෙකක් හා ඊට සම්බන්ධ බවට සැක කෙරෙන නියෝජ්‍ය පොලිස්පති යටතේ සේවය කළ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් හා පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සමත්විය.

ඉන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැවත ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට රැගෙන ගියේය. එහිදී පැය 12කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළද මුල්පැය 05 තුළදීද ඔහු පැවැසුවේ තමා මෙවැනි දෙයක් නොදන්නා බව පමණි. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වූයේ ෂියාම් නමැත්තා ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇත්තේ එවකට බස්‌නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බවයි.බම්බලපිටිය ප්‍රදේශයේ තවත් මුස්‌ලිම් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෆවුස්ඩීන් නමැත්තා විසින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුවූ බවද අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් පසුවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ෂියාම් ඝාතනය පිටුපස වාස් ගුණවර්ධන මහතාගේ පුත්‍රයාද සිටින බව හෙළිකර ගත්තේය.
මෙම ලිපිය සකසා ඇත්තේ එකල පුවත්පත් වාර්තා පදනම් කරගෙනයි.
2024 වසරේ අගෝස්තු මස 08 වනදා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර අවසන් කලා


g27bjp
afwu8b