‘නඩු අලි’ අලි කරදරයකින් නිදහස්

‘නඩු අලි’ අලි කරදරයකින් නිදහස්

බලපත්‍ර රහිතව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් 2014, 2015 හා 2016 වසරවල දිවයින පුරා සිදු කෙරිණි. විහාරාධිපති හිමිවරුන්, අධිකරණයේ විනිසුරුවන් පමණක් නොව විවිධ පුද්ගලයන්ට අයත් අලි මේ අතර විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 23073/01/15 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම සැකකරුවන්ට එරෙහිව නඩු ගොනු කෙරිණි. නීතිවිරෝධී ලෙස තබාගෙන සිටි මෙම අලි අධිකරණය මඟින් නඩු භාණ්ඩ ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරයට හා උඩවලව ඇත්අතුරු සෙවණට යොමු කරනු ලැබිණි.මෙලෙස රඳවා සිටි අලින්ගෙන් අලි 14 දෙනකු මාස තුනක් තුළ එම හිමිකරුවන්ටම භාරකාරත්වය ලබා දීමේ කොන්දේසිය මත ඔවුන් අයිතිකරුවන් වෙත මුදා හැරීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 06 වැනිදා නියෝග කළේය. අලින් 14 දෙනකු මෙලෙස සන්තකයේ තිබූ අය වෙත බාර දීමට එමඟින් නියෝග කර තිබිණි.

වන සත්ත්ව ආරක්ෂණ හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන සහ අංක 2241 දරණ 2021.08.19 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය අනුව මෙම නියෝග සිදුකර තිබිණි. පසුගිය ‘යහපාලන’ ආණ්ඩු සමයේදී මෙලෙස පින්නවල අලි අනාථාගාරයට අලින් 19 දෙනකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණ නියෝග යටතේ ගෙනැවිත් තිබූ බව එහි ආරංචි මාර්ග පවසයි.

පින්න­ව­ල අලි අනාථාගාරයේ සිටින අලි

අත්අඩංගුවට ගත් අලි වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව හීලෑ අලි ඇතුන් බලා ගැනීමේ පහසුකම් හා පළපුරුද්දක් නොමැතිවීමත්, අවශ්‍ය පළපුරුදු ඇත්ගොව්වන් නොමැති වීමත් මෙම අලි පින්නවලට හා උඩවලවට යොමු කිරීමට හේතු වූ බවද එම ආරංචි මාර්ග තහවුරු කළේය. අධිකරණ නියෝගයකින් ලද මෙම අලි සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවීම ද, පින්නවල අලි අනාථාගාරයේ අලින් සඳහා පවතින ඉඩකඩ සීමිත වීම ද සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මැසිවිලි නැඟූහ.

මෙම නියෝගය නිකුත් කළ දිනට පසුදිනම පසුගිය හත්වැනිදා පස්වරුව වන විට අධිකරණ නියෝගයෙන් තමන් වෙත බාරදීමට නියෝග කළ අලි රැගෙන යාම සඳහා එම අලින්ගේ අයිතිකරුවන් තම පවුල් පිටින් පින්නවලට පැමිණ සිටියහ. අලි ප්‍රවාහනය සඳහාම සකසන ලද ලොරි රථ හා පෞද්ගලික අලි බලන්නන්ද ඔවුන් විසින් එහි රැගෙන ආහ. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් අලි අනාථාගාරය තුළ සිටින අලි බැලීමට එහි ඇතුළට යාමට වූ අවස්ථාව ඔවුන්ට අහිමි විය. මෙම අලි පින්නවල අලි අනාථාගාරයට බාරදී තිබුණේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මඟින් බැවින් එම නිලධාරින් කොළඹ සිට පැමිණෙන තෙක් මඟ බලා සිටීමටද අලි හිමියන්ට සිදු විය.

මහමඟ දෙස බලා සිටි ඔවුන්ගේ බලාපොරොත්තු දල්වාලමින් වනජීවී නිලධාරිහු පිරිසක් රාත්‍රී නවයයි තිහට පමණ පින්නවල අලි අනාථාගාරයට පැමිණියහ. අලි අයිතිකරුවන් කීප දෙනෙකුම අලි රැගෙන යාමට අපේක්ෂාවෙන් එහි පැමිණ සිටියද අලි නිදහස් කිරීමේ නියෝග ලැබී තිබුණේ අලින් සිවු දෙනකු සඳහා පමණි. ඒ අනුව එක්වරකට එක් තැනැත්තෙකු බැගින් අලි හිමිකරුවන් පමණක් අනාථාගාරයේ සී ගේට්ටුවෙන් අලි අනාථාගාරය තුළට කැඳවිණි. ඒ සෑම අවස්ථාවකදීම කොවිඩ් වැළැක්වීම සඳහා වූ පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරනු දක්නට ලැබිණි.

අලි අයිතිකරුවන්ට අලි හඳුනාගැනීම හා පරීක්ෂාව සඳහා තවත් හෝරාවක දෙකක කාලයක් ගත විය. අලි අනාථාගාරය තුළදීම ප්‍රධාන දොරටුව සමීපයෙන් ලොරි රථවලට අලින් පැටවීමට අනතුරුව කටයුතු යෙදිණි.පළමුවෙන්ම මාවනැල්ල,හිඟුල බුද්ධික දේශප්‍රිය මිරිහැල්ල වෙත සුදුමැණිකේ නමැති කෙනර බාරදීමට කටයුතු කළත් ඇය ලොරියට ගොඩවීමට බොහෝ වේලාවක් අදිමදි කළාය. පන්නිපිටියේ එස්.එන්.රොෂාන්ට අයත් සුද්දි දැඩි බලකිරීමකින් තොරව ලොරියට ගොඩවීමත් සමඟ සුදුමැණිකේද එම ලොරියට නැග ගත්තාය. සුදුමැණිකේ ගෙනයාමට පැමිණි ලොරිය හිස් අතින්ම ආපසු ගියේය.

හොරණ වරුණ කන්නන්ගරට අයත් සීදේවී නාලිකා කන්නන්ගර සමඟ මහත්සේ කුලුපගව ඇය පසුපස යමින් ලොරියට ගොඩ වූවාය. අමිතිරිගල සමන්ත උදය විජේමාන්නද පාරමී ගෙනයාමට පැමිණ සිටියේ සිය පවුලම සමඟිනි. විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂවරියක වූ ඔහුගේ මවද ඔවුන් සමඟ පැමිණ සිටියාය. පාරමී ද විජේමාන්න සමඟ බලකිරීමකින් තොරවම ලොරියට ගොඩවූවාය.

අලින් ලොරි මඟින් රැගෙනයාම

සුදුමැණිකේ, සුද්දී, සීදේවී හා පාරමී යන අලින් සිවුදෙන එදින පින්නවලින් පිටත්ව අවසන් වන විට මධ්‍යම රාත්‍රියද ඉකුත්ව තිබිණි. පස්වරු හතරේ පමණ සිට පුරා පැය අටකට අධික කාලයක් ගතව තිබුණද හැමකෙකුගේම මුහුණු මත දිස්වූවේ මහත් සොම්නස් බවකි. කාලයක්ව දුරස්ව සිටි තම පවුලේ ඥාතියකු යළි තම නිවෙසට රැගෙන යාමේ ප්‍රීතියෙන් ඔවුන් ප්‍රබෝධවත්වූ ආකාරයක් ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිලි විය.

පසුදින (08) අමිතිරිගල,මැදගොඩ සමන්ත උදය විජේමාන්නගෙන් පාරමී ගැන විමසූ අතර ඔහු පැවසුවේ මෙබන්දකි.

“අපි පරම්පරාවෙන්ම අලි ඇතුන් ආදරයෙන් බලාගත්ත අයනේ. අද උදෙන්ම එයාට කිරිබත් කවලා පලතුරුත් කැවුවා. එයා වගේම අපි කට්ටියම සතුටු වුණා. මට අද උදේ පාන්දරම පුදුම සිදුවීමක් වුණා. අවුරුදු පහකට විතර පස්සෙත් මේ ළමයාට (අලියාට) මේවා හොඳින් මතකයි කියලා. මම ඉස්සර හැමදාම උදේට කිරි එකක් බොමින් එනවා මේ සතා ළඟට. එහෙම ඇවිත් එයාටත් ටිකක් දෙනවා. මෙයා වනජීවී එකෙන් ගෙන ගියාට පස්සේ මම කිරි බොන එක නැවැත්වූවා. ඒ තරම් වේදනාවකින් මමත් හිටියේ. අද තමයි ආයෙමත් කිරි එකක් බීවේ. මම කිරි තේ එක බොමින් එළියට යනකොට මෙයා අදත් දන ගහගෙන මගෙන් කිරි ඉල්ලනවා. අවුරුදු පහකට වඩා ගියත් එයාගේ ඒ මතකයයි පුරුද්දයි තවමත් තියෙන එක ගැන මට පුදුම හිතුනා.

මෙයාව ගෙනියන්න ඇවිල්ලත් වනජීවි නිලධාරින් පැය පහක් විතර ගෙනියන්න බැරිව දැඟලුවා. අලි පැටියා සාලය මැද්දේ මගේ කකුලත් අල්ලාගෙන නිදාගෙන සිටියේ. එයාටත් මොනවා හරි දැනිලා වෙන්න ඇති.වනජීවී එකෙන් ආව අයත් පුදුම වුණා.“මහත්තයා මෙයාව ගෙනියන්න අපිට බැහැ. ඒත් අධිකරණ නියෝගයක් හින්දා ගෙනියනවා. නැතිනම් අපි මෙයාව දාලා යනවා. අපිත් රාජකාරිය කරන්න බැඳිලා ඉන්නවානේ“ කියලා මට ඒ අය කීවා. මෙයා ගෙනියන කොට අවුරුදු අටක් නවයක් ඇති. මෙයාට “පාරමී“ කියලා නම තිබ්බේ මගේ දරුවාගේ නම. මට ඉන්නේ එකම දුවෙක් විතරයි. මේ ගෙදර සත්තු හැදුවට ඒ අය සත්තු නොවෙයි අපේ දරුවෝ වගේ. මම කුඩා කාලයේ දණගාමින් නැගිට්ටෙත් අලියා අල්ලාගෙන. ඒ තරම් අපි අලි සමඟ බැඳීමකින් ජීවත්වූ පවුලක්.

අපේ පරම්පරාවේ අලි 18ක් 20ක් විතර ඉඳලා තියෙනවා. මම දැනුවත්වම හයක් හිටියා. පුංචි මැණිකේ, මැණිකේ ඇතින්නියන් දෙන්නයි. මම තවත් අලියෙක් සල්ලි දීලා ගත්තා. පාරමීගේ අම්මා මැණිකේ. එයාට මේ පැටවා විතරයි හිටියේ. මගේ තව අලි පැටියෙක් උඩවලවේ ඉන්නවා. ඒ අයත් නිදහස් කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. රට, ජාතිය, ආගම කියන ඒවා ගැන කැක්කුමක් තියෙන්නේ මේ ආණ්ඩුවට විතරයි. සංස්කෘතිය විනාශ කරන එක එන්ජීඕ කාරයෝ කළාට කමක් නැහැ. ඒක ඒ අයගේ රස්සාව. ඒ අය ඒක මුදලට කරන දෙයක්. රට,ජාතිය, ආගම, සංස්කෘතිය විනාශ කරන්න රජයකට ඉඩදෙන්න බැහැ. නමුත් පසුගිය රජය උඩ බලාගෙන හිටියා. විහාරස්ථානවලට හාමුදුරුවරුන්ට හිරිහැර කළා.“

නිද­හස් කළ පාරමී බාර­ගැ­නී­මට පැමිණි හිමි­ක­රු­වන් වූ විජේමාන්න පවුල පින්න­ව­ලදී.

මේ සත්තු පෙරහරකට යොමු කළා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. මේක අපි එදා ඉඳන්ම කළේ අපේ දෙයක් විදියටයි. රටේ සංස්කෘතිය වෙනුවෙන් අපි මේ දේ කරමින් ඉන්නේ. ඒකට තමයි එදා රජය අපට පහර ගැහුවේ. පහර දෙන්න ඉඩ දුන්නේ. මේ රජය මෙතරම් රටේ කොවිඩ් ප්‍රශ්නයක් තියෙද්දිත් උත්තම දළදා පෙරහර කොච්චර ලස්සනට සිදු කළාද? අපි ගැන සිතලා අපිට අගයක් දීපු එක ගැන අපි අවංකවම සතුටු වෙනවා.

පින්නවල හිටිය කාලය පුරවටම සතාව හොඳින් බලාගෙන තියෙනවා. මම ඒක එහෙදිත් කීවා. කවුරු ළඟ හිටියත් අතේ පයේ පොඩි පොඩි සීරීම් වෙනවා. ඒ හැරෙන්නට කිසිම අඩුපාඩුවක් සතාට වෙලා තිබුණේ නැහැ.සතාගේ බෙහෙත් වෙලාවට ලබා දීලා, ඒ ලැයිස්තු අපිට පෙන්නුවා. ඉදිරියට දෙන්න තියෙන බෙහෙත් ඒ දින ගණන් විස්තර අපට දුන්නා. සතාගේ සුබසාධනය වෙනුවෙන් ඒ අය කැපවීමෙන් කටයුතු කරලා තිබුණු බව මට වගකීමෙන් කියන්න පුළුවන්. ඒ කිසිම දේකට රජයට කිසිම අයකිරීමක් කරන්න දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ළඟ සිටි සත්තු ගෙන ගිය දවසේ සිටම අපට වියදමක් තිබුණෙත් නැහැ. අපි කැමැත්තෙන් කෑමට යමක් සතාට යවලා හිත සතුටු කරගත්තා මිසක් සත පහක වියදමක් ඉල්ලුවේ නැහැ.

උඩවලවේ නම් ටෙන්ඩර්වලට කෑම දීමේදී පොඩි පොඩි අඩුපාඩු ටිකක් වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. අපේ ගෙදර දරුවෙක් වගේ හදපු සතා එහෙට ගියාම යකෙක් කරලා. අලියෙක් බලාගන්න හැමෝටම බැහැ. ප්‍රවීණ අලි හාම්පුතකුට, අලි බලන්නකුට සතාගේ වෙනස දැනෙනවා. එක්කෝ කෑම කන්නේ නැහැ. නැතිනම් කන් ගහන්නේ නැහැ. මේ වගේ චර්යා රටා රාශියක් තියෙනවා.“

අධිකරණය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අලි යළිත් එම අලි හිමිකරුවන්ටම ලබාදීම සම්බන්ධයෙන් හා නොබෝදා ප්‍රකාශයට පත්කළ ගැසට්පත ගැන විවිධ පිරිස් නොයෙක් මත පළ කරති. මේ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් පවසන්නේ මෙවන් අදහසකි. “නීතිවිරෝධීව රඳවාගෙන සිට අත්අඩංගුවට පත්වූ අලින්ගෙන් අලි 14 දෙනෙක් නිදහස් කරන්න කියලා අධිකරණ නියෝගයක් ලැබිලා තියෙනවා. මෙය කනගාටුදායක තත්ත්වයක්.ඒත් අධිකරණ නියෝගයකට ඉහළින් යන්න බැහැ. එයට අවනත වෙන්න වෙනවා.

නිද­හස් වූ හොරණ සීදේවි සිය භාර­ක­රු­වන්ගේ සංග්‍රහ භුක්ති විඳි­මින්.

මේ අය ළඟදී හීලෑ අලින්ගේ සුබසාධනය කියලා ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒක මේ සඳහාම නොවෙයි. ඒකෙන් කරලා තියෙන්නේ හීලෑ අලි භාවිතාව පුළුල් කිරීම. ලංකාවේ හීලෑ අලි පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණේ ආගමික හා සංස්කෘතික කටයුතු වලට විතරයි. ඒකෙන් පරිබාහිරව ආර්ථික කටයුතුවලට අලි ඇතුන් පාවිච්චි කිරීමට නීතිමය වශයෙන් ඉඩප්‍රස්ථාවක් තිබුණේ නැහැ.

මේ අධිකරණ නියෝගයේ උඩවලව සිටින ඇතින්නට පැටියෙක් ලැබීම ගැන සඳහන් කරලා නැහැ. විශේෂයෙන් වනජීවී දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අධිකරණයේ විමසීමට ලක්කරන්න ඕනෑ. මේ ගැසට්ටුව ආකාර කීපයකින්ම වන අලි සංරක්ෂණයට බරපතළ තත්ත්වයන් ඇති කරනවා. එ් වාගේම ලංකාවේ වනජීවී අපරාධ මැඬලීම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් ඇති කරනවා. මේ විදියට ඉවක් බවක් නැතිව වනාන්තරවලින් අලි පැටවුන් අල්ලන්න ගත්තොත් ලංකාවේ අලිගහනය සම්බන්ධයෙන්ද ප්‍රාදේශීය වශයෙන් ගැටලු මතුවෙනවා.

ලෝකයේ සතුන් වෙනුවෙන් අභය භූමියක් නම් කළ පළමු රට අපේ රටයි.අපේ සත්ත්ව සුබසාධනය බැලූ විට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ලෝකයේ අපෙන් පසුව එවැනි සත්ත්ව සුබසාධනය ගැන කටයුතු කරන්න උනන්දුවක් ඇතිකරගත් රටවල් පවා මේ වන විට බොහෝ ධනාත්මක ප්‍රවණතාවන්ට අපට වඩා ගොස් තිබෙනවා. සත්ත්ව සුබසාධනය සම්බන්ධයෙන් විශාල මැදිහත්වීම් ඔවුන් සිදු කරනවා.“

  • www.silumina.lk/2021/09/11/
Environment Local NEWS