පස් වතාවක් අනිවාර්යය අල්ලා දෙවියන් වැඳුම

පස් වතාවක් අනිවාර්යය අල්ලා දෙවියන් වැඳුම

සෑම දිනකම පස් වතාවක් සිය ආගම සිහිකරමින් වන්දනාමාන කිරීම අනිවාර්යය කරඇති මුස්ලිම් බැතිමතුන් එය නොපිරිහෙලා ඉටු කරනා අන්දම විශ්මයජනකය. අල්ලා දෙවියන් වැඳුම ගතට ව්‍යායාමයක් සිතට භාවනාවක් වැනිය. ඔවුන් දෙවියන් සිහිකොට දන නමා ඉදිරියෙන් බිම එලාගත් රෙදි කැබැල්ලක් වැනි යමක් මත හිස තබා නැගිට දනහිස මතම හිඳගෙන දෑත දෙකන් වෙත ලංකර බෙල්ලහරවා දෙපස බලා නැගිට එකී ආකාරයෙන් තෙවතාවක් වැඳීම සිදුකරනාවිට පල්ලියෙහි ශ්‍රාස්තෘවරයා විසින් පවසන ගාථාවෙහි රිද්මයට අණුකූලව එය සිදුවෙයි. එම “අල්ලාහුඅක්බර්” ගාථාව ශබ්ද විකාශණ යන්ත්‍රයෙන් ගමෙහි හාත්පස සිසාරා රැව්පිළිරැව් නංවාලනු ලබයි.

ගමෙහි ජීවත්වන සෑම මුස්ලිම් පිරිමියෙකුම නියත වශයෙන්ම පල්ලියට සහභාගී විය යුතුය. පැමිණීමට අපහසුනම් ඉන්නා තැනක සිට හෝ ආගම සිහිකර වැඳීම අනිවාර්‍යයයි. සැබෑම බැතිමතෙකුවේ නම් එය සිදුකල යුතුමය. කාන්තාවන් හට පල්ලියට යතහැක්කේ නෝම්බි’ සමයට පමණයි. කංජි’ පානය මාසයක් මුලුල්ලෙහි දන්සැල් දෙන නෝම්බි මාසය හැරුණුකොට අනෙකුත් දිනයන්හී සියලුම කාන්තාවන් ඉන්නා තැනක හිඳගෙන ආගම සිහිකර වැඳීම කල යුතුමය. කුමන රාජකාරියක නියැලී සිටියද එය පසෙකලා වැඳිය යුතුමය. වැඳිය යුතුවන්නේ නැගෙනහිර දිශාවට මුහුණලාය. ගස් ගල් රූප පිළිම ආදී වන්දනාවන් කිසිවක් මෙහි නැත. සිතින් මවාගනු ලබනා කිසිවකුත් නැත.

මුස්ලිම් පිරිමි බාල තරුණ මහළු සැවොම පල්ලියෙහි දේව මෙහෙය වෙත ඇදෙනුයේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. සෑම දිනකම සිය වෙළඳසැල් ආයතන වසා දමමින් රාජකාරි කටයුතු සියල්ල පසෙකලා ඔවුන් දේව මෙහෙයට සහභාගි වනුයේ තම ආගම දහම කෙරෙහි ඇති ඉමහත් භක්තියකිනි. ඔවුන් ඉන් සැනසෙයි. සිත් සාදවා ගනියි. දවසේ විඩාව නිවාගනියි. දිනකට කීප වතාවක් මෙලෙසින් ආගම සිහිකිරීම ශරීරයටද විවේකයකි. ඔවුන්ගේ ආගම දහමෙහි ස්වරූපය අනූව ගමෙහි සැවොම එකම තැනකට එකමුතු කරවාගෙන එකම ඉරියව්වකින් වන්දනා මාන සිදුකිරීම තුලින් අන්‍යෝන්‍ය බැඳීම සහ එකමුතුකමෙහි අගය පෙන්වාලන අයුරු දකිනා ඕනෑම අයෙකුට ලබා ගතහැකි ආදර්ශයන් රැසක් ඉන් ඉස්මතු කරවාදෙනු ලැබේ.

Art & Culture History Human Rights Lifestyle Religious