කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ

කොස්තාපල්වරියට හදි කළ සෙවණගල OIC අල්ලන්න පරීක්ෂණ

ආධුනික පොලිස් කොස්තාපල්වරියක් දූෂණය කළා යැයි කියනු ලබන සෙවණගල පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබේ.

විසි එක් හැවිරිදි එම පොලිස් කොස්තාපල්වරිය කොළඹට පැමිණ පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පොලිස් කාන්තා නිලධාරිනියගේ පළමු පත්වීම සෙවනගල පොලිස් ස්ථානය බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ(14) දිනයේ සෙවනගල පොලිස් ස්ථානයට ගොස් විමර්ශන පවත්වා ඇති අතර ඒ වන විට පොලිස් ස්ථාධිපතිවරයා පොලීසියේ සිට ඇති අතර පසුව ඔහු උපක්‍රම ශීලීව නිවාඩු දමා පොලිස් ස්ථානයෙන් පිටව ගොස් තිබෙන බව සඳහන්ය. මෙම සිදුවීම සෙවණගල පොලීසියම මෙන්ම ගම්වැසියන් අතර ද ප්‍රසිද්ධ රහසක්ව තිබී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම පොලිස් කොස්තාපල්වරිය දූෂණය කළේ යැයි කියන ස්ථානය ද පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ නිරීක්ෂණයට ලක්ව තිබේ. මෙම නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බව එම කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙවැනිම ආකාරයේ සිදුවීමක් මෑතකදී මාතර පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානයක සිදුවී තිබුණි. ඒ සම්බන්ධයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාට ලද තොරතුරකට අනුව විමර්ශන පවත්වා එම ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස තුලදී සිදුවීම සිදුව තිබුණි. මෙවැනි සිදුවීම් ඇතැම් පොලිස් ස්ථාවල සිදුවුවත් ඒ පිළිබඳ බොහෝ නිලධාරිනියන් බිය සහ ලැජ්ජාව නිසා පැමිණිලි නොකරන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලිස් කොස්තාපල්වරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

dinamina.lk

Human Rights Law & Order Local NEWS Political