දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ.. බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ.. බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..

ගීතයක පදවැලක් ජීවිතයක එක් මොහොතක් වෙන්න පුළුවන්. ජීවිතයේ මං සලකුණු ගීතයක් වෙන්න පුළුවන් . අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයේ සැරිසරන එවන් අපූර්ව පද එකතුවක් දිනක් චාරුක සුරවීර නම් කොළඹ විශ්වවිද්‍යාලයේ කලාකාමී ගේය පද රචකයා අතින් ගෙත්තම් වුණා. ඒ ගෙතුමට සප්ත ස්වර සංයෝජනය කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රියන්ත ඩිරෙක්ස් සංගීත ශිල්පියා යුහුසුළු වුණා. අප්සරා ද සිල්වා නම් එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි හොඳම ගායිකාව මෙම පැදි පෙළට තම මියුරු හඬ මුසු කළා. බිෂොප් පැලස් ශබ්දාගාරයේ දී පටිගත කෙරුණු ඉවාන් පවුලූෂා නම් තාරුණ්‍යයේ ගීතයේ වංහුං සොයා යාමටයි මේ සූදානම.

ඉවාන් පවුලූෂා යන ගීතයේ නම පබැදුම පිළිබඳව රසවත් පසුබිමකි. එනම්, මෙය රුසියානු සම්භවය ආශ්‍රය කොට නිර්මාණය වූවක් වීම යි. රුසියානු සාහිත්‍යයේ එන මැක්සිම් ගෝර්කිගේ “අම්මා, මගේ සරසවි”, චිංගීස් ආයිත්මාතව්ගේ “ගුරු ගීතය, අම්මා සහ මිහිකත”, වැනි පරිවර්තන සාහිත්‍ය කෘති අප කොතෙකුත් කියවා ඇති අග්‍රගණයේ සාහිත්‍ය නිර්මාණයන් ය. එමෙන් ම නිකොලායි ඔස්ත්‍රොව්ස්කි යනු ඔබට මට ජීවන පන්නරයක් දෙන “වානේ පන්නරය ලැබූ හැටි” යන විශිෂ්ට නවකතාවේ අයිතිකරුවා යි. ඔහු රුසියානු විප්ලවයට කැපවී සිටි අයෙක්. අවුරුදු තිස් දෙකේ දී දෑස් අන්ධ වන ඔහුගේ ජීවන ගමෙනේ නොපසුබට උත්සාහය පිළිබඳ පාඩම මෙම කෘතියෙන් එළිදකින්නේ එවන් කටුක සමයකයි. “වානේ පන්නරය ලැබූ හැටි” කතාවේ එන පාවෙල් කොර්චාගින්ගේ කතාව ඉවාන් පවුලූෂා යන ගීතයට පදනම වී ඇත. පවුලූෂා යන නම යෙදී ඇත්තේ පාවෙල් අනුසාරයෙන්. එමෙන් ම ලස්සන වසිලිස්සා කතාවේ එන ඉවාන් යන නම ද එක්වී ඉවාන් පවුලූෂා නිර්මාණය විය. මෙහි එන කතා නායිකාව ඉවාන් පවුලූෂා නම් තරුණයාට පෙම් බඳියි.

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ.. බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..
මෙහි ‘හිම’ යන්නෙන් සරලව අයිස් යන්න ගත හැකි වුවත්, ‘නිමේෂය’ යන ද්වි අරුත මෙයින් ගම්‍ය වේ. හෙට උදෑසන වන විට හිරු එළියෙන් දිය වී යන හිම සේ ඔබෙත් මගෙත් මේ ගතකරන නිමේෂය අවසන් වී යන්න පුළුවන්, ඊට පෙර මා සමඟ බැලලයිකාව වයමින් සතුටෙන් මේ ජීවන මංතලාවේ හැකි දුරක් යන්න පැමිණෙන්නැයි කතා නායිකාව පවූලූෂාට ආරාධනා කරයි. ඇයගේ ලාලිත්‍ය සොරාගත් ඔහුගේ දෑස් හොරැහින් ඇය වෙත ඇදී යද්දී ඇය ඔහුට පෙම් බඳියි.

නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා..
ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින ගොතලා..
බැලලයිකාව වගේ මා තුරුළු කරන් ඔය සුරතට..
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා..

අස්වැද්දීම යනු සශ්‍රීක කිරීමයි. බලන දනන්ගේ දෑස් මනාව පිනවීමට දක්ෂ ඇයගේ හැකියාවට මහපොළොව සාක්ෂි දරයි. නැටුමෙන් එක් රූබලයක් අපි උපයා ගමු, ඒ නැතත් රූබලයක තරම්වත් සතුටක් අපි විඳිමු. ඒ සතුටට ගී ගයා තව සිහින මවන්නටත් අපට පුලුවන්. ඒ ඇගේ පැතුමයි. නමුත් රුසියානු විප්ලවයේ බෝල්ෂේවික් පක්ෂ සාමාජිකයෙකු වන මේ තරුණයාට එවැනි සිහින දැකීමට හෙට දවසක් උදා වේ දැ යි අවිනිශ්චිත ය. ඒ අවිනිශ්චිතතාවය මැද වුව ද ජීවිතය, ආදරය පිළිබඳ සියුම් ලෝභකමක් තරුණියට දැනෙන බැවින් ඇය ඒ මොහොත පවා අපතේ යවන්නට අකමැති ය. සටන් පාඨ කියනවාට වඩා මොහොතක් හෝ සතුටු වීම අගනේ යැ යි ඇය සිතයි. එබැවින් ඇය ඔහුට අද පමණක්වත් මෂූර්කා නැටුමට පැමිණ බැලලයිකාව සේ ඇය තුරුලු කරන් නැටුමට ඇවිටිලි කරයි.

හිනහවෙවී අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද..
කඳුලැලි දහඩිය ගැලුවට මහ කලුගල් දියවෙනවාද..
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද..
සිත ගිනි නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද..

අප සිනා සෙමින් නැටුවාට පොළවට වෙහෙසක් නැහැ. බලන දනන්ට වෙහෙසක් නැහැ. මෙහි දී කතා නායිකාව සමාජයේ විපරීත බව ගෙනහැර දක්වයි. අපේ කඳුලැලි දහඩිය ගැලුවත් සමාජයේ ඉහළ ස්ථරවල සිටින මිනිසුන්ට එය දැනෙන්නේ නැහැ. අපව පාගා දැමීම පමණක් ඔවුන් සිදුකරාවි. එනමුත් එය එතරම් දෙයක් නොවේ. නමුත් මා සිතන්නේ තැවෙන්නේ ඔබ ගැනයි පවුලූෂා. ඔබේ බැල්මට අන් තරුණියන් ආදරය කිරීම පුදුමයක් නොවේ මන්ද, ඒ ආදරණීය බැල්ම මගේ සිත ද ව්‍යාකූල කරන නිසාවෙන්. දැනුදු මගේ සිත ගිනි ජාලාවක් සේ කලබලයි. ඔබේ උරහිස මත එක් සැනසුම් සුසුමකට මට ඉඩ ලබාදෙන්න පවුලූෂා. එවිට ඒ මොහොතෙන් ම මා නිවේවී.
එන්න අද දවස අපටයි. ඔව්.. අද දවස ඔබෙත් මගෙත් පමණමයි, ඉවාන් පවුලූෂා..

සාහිත්‍ය වනාහී අරුම පුදුම නිර්මාණ ගොන්නක එකතුවක් .ගීතය එවැනි වූ නිමැවුමක්. ගීතයකට සමවැදී සතුටු වන්නටත් වේදනා විඳින්නටත් ඉන් මිදෙන්නටත් හැකියි. රසවිඳින්න. විඳින ජීවිතය තවත් ප්‍රබෝධමත් කරවන්නට ගීතයෙන් යමක් උකහාගන්නට මේ හොඳම මොහොතයි.

  • Disala Wimalasena⁩
Art & Culture Entertainment