” හැම උදෑසනකම, මා මගේ කාර්යාලය වෙත පිය නැගු විගස , මගේ පුරුද්දක් තිබුනා කාමරයේ වීදුරු බිත්තියෙන් එලිය බලන්න. ඒ ඇයි දන්නවද? විශ්ව විද්‍යාල පිට්ටනිය අයිනෙ මීට කාලෙකට ඉස්සර මම පැලකල පුංචි ‘පිහිඹියා’ ගස දිහා බලන්න. බලල හොඳ හුස්මක් ගන්න. සතුටු වෙන්න .
ඒ පිහිඹියා පැලය මම පැලකළේ ඇයි දන්නවද? මම හුඟක් වෙලාවට දැකල තියනව අපේ ආයතනයෙ දරු පැටවු පිට්ටනියේ ක්‍රීඩා නරඹනවා ගිනි අවුවේ පිච්චෙමින්. කිසිම හෙවණක් නැතුව පීඩාවෙන්. ඉතින් මේ අඟලෙන් අඟල නිදැල්ලේ වැඩෙන පිහිඹියා පැලය මගෙ දවසට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා, ඒ මොකක්ද දන්නවද? කවද හරි මේ පුංචි පැලය ලොකු වූ දාට , විසල් රුකක් වූ දාට අපේ දරු දැරියන්ට ඒ හෙවණේ ඉඳගෙන ක්‍රීඩා නරඹන්නට පුලුවන් වේවි. මම හැමදාම උදේට ඒ කොළ පාට හීනය දැක්කා.
දින කිහිපයකට කලියෙන් මගේ අධීක්ෂණය යටතේම උපාධි අවසන් වසර නිබන්ධනය ලියූ සිසුවෙක් මා සොයාගෙන ආවෙ ආයතනයේ ඉහළ ඇදුරුතුමන් තිදෙනෙකුගේ අත්සන් තුනක් සොයාගෙන. ඉන් එක් අවසර ගැනීමේ අත්සනක් ඉල්ලමින්. ඒ , වාර්ෂික සුහද හමුවක් පැවැත්වීමට අවසර ගැනීම වෙනුවෙන්. ඒ ලේඛනය වෙනුවෙන් එදා මගේ අත්සන මා යෙදුවේත් තරුණ හදවත් හඳුනන හිතැති සිතින්.
එදා… සුහද හමුව දා.. මේ සතුටු සාගරය දරුවන්ගේ ජීවිතයෙන් දෝරෙ ගලා යන’යුරු අපි රාත්‍රී 10.30 වෙනතුරුම බලා සිටියා. රාත්‍රි 7ට ඇරඹුන ඩීජේ ප්‍රසංගය මා එතෙකින් අවසන් කරන ලෙස ඉල්ලා සිටියේ , එන සතියෙහි ඔවුන්ගේ විභාගය ඇරඹෙන නිසාවෙන්. අනෙක රටේ තත්වය අනුව මේ දුවා දරුවන් ආරක්ෂාකාරීව සිය නවාතැන් කරා යනතුරු අප හිස මත ඇති වගකීම කිව නොහැකි තරම්. මේ දූපුතුන් එකෙකුදු අපිට නොතකා හරින්නට බැහැ. ලෝකයේ , රටේ වාතාවරනය එතරම් විෂමයි.
ඉදින් උත්සවය අවසන්වී අපේ දරුවන් සියලු දෙනාම පාහේ විදුබිමෙන් පිටවී යනතුරු රැඳී සිටි මා , ඉන් පිටතට පැමිණියේ රාත්‍රි 11.45ට වගේ. එහෙත් ඒ වනතුරුත් පිට්ටනියේ කොනෙක රැඳී කතා බහේ නිරත වෙමින් සිටි මා හඳුනන සිසු පිරිසක් මට නෙත ගැටුනා. එතෙක් ප්‍රමාද වූ දරුවන් ඇමතු මා ඉල්ලා සිටියා “පුතා , දැන් හොඳටම රෑ වෙලා.. ඉක්මනට ගෙවල් වලට යන්න” කියා. ඒ මැදියම් රෑ. රාත්‍රි කාලයේ කොල්ලෙක්ටවත් පරෙස්සම් මදි ලෝකයක් මේක.
ඔවුන්ට පිටත්ව යන්නට ඉඩ හරිමින්, මා ඔවුන් කෙරෙහි විස්වාසය තබමින් විදුහල් භූමියෙන් පිටවූයේ කිලෝමීටර් 35ක් ඈත මගේ නිවස බලා මා කඩිනමින් යා යුතු වූ නිසා. මධ්‍යම රාත්‍රිය වනතුරු නිවසේ තනිව බියෙන් සිටින බිරිඳත් පුතුත් වෙනුවෙන් මා පය ඉක්මන් කළ යුතුව තිබූ නිසා.
එහෙත්…
පසු දින.. සුවහසක් ගුරුදෙවිවරුන් ලෝකයම පුදන ඔක්තෝබර් මාසයේ 6 වෙනි බ්‍රහස්පතින්දාවේ, වෙනදා වගේම විදු බිමේ සිට මා කාර්යාලයට පිය මැන්නා. … අද දින ගුරු දෙවියන් පුදන අවට ලෝකය දෙස මා මගේ ගුරු කාමරයෙන් පිටත එබී බැලුවේ පුරුද්දට මෙන්… අලුත් බලාපොරොත්තුවක් දලුලන්නා සේ , හරිත සිසිල් තුරු වියනක් වෙනුවෙන් සිහින දකිමින් , මිලිමීටරයෙන් මිලිමීටරය, නිසසලේ වැඩෙමින් සිටි , ‘පිහිඹියා පැලය’ තිබූ තැන හිස්ව තිබුනා.
ඒ වෙනුවට, හිස්වූ සිගරැට් පැකැට්ටුවකුත් , දැල්වී නිවීගිය සිගරැට් කොට කිහිපයකුත් එතැන වැටී තිබුනේ, හරිත සිහිනය – අනාගත පිහිඹියා තුරුවියන වියැකීමෙන් රිදුනු ගුරු සිතට , ගුරු දින උපහාරයක් ලෙසින්දෝ කියා සිතමින් මා සුසුමක් හෙලුවා.. “
ආචාර්‍ය කෝලිය පුලසිංහ ගුරු පියාණන් , පසුගිය දිනෙක අත්විඳින්නට යෙදුනු මේ සිදුවීම පිලිබඳ අනුවේදනීය සටහන , එතුමන් මුහුණු පොතේ ඉන්ග්‍රිසියෙන් පල කොට තිබෙනු දුටුවේ status update එකක් වශයෙන්.එතුමන්ගේ අවසරය ඇතුව මුහුණු පොතෙන් එය උපුටා ගෙන පරිවර්තනය කලේ ඔබ වෙනුවෙන්. අතීතයෙන් පැමිණ, අනේක වාරයක් කවියෙන් , කතාවෙන්, පොතපතින් සිහිගැන්වෙන, දුයිශෙන්ලා , පොප්ලර් තුරු මුදුන් පිලිබඳව ගර්වයෙන් ස්මරණය කරන අපට ලෙහෙසියෙන් ඇස නොගැටෙන ‘අද’ වෙනුවෙන්…
අනාගතයේ උපදිනට සිටින දරු පරපුර උදෙසා හරිත ඉණිමං තනන උදාර ගුරු තරුව වෙනුවෙනුත් , එයින් මොනවට පිලිබිඹු වෙන , රිදුනු සංවේදී ගුරු සිත වෙනුවෙනුත් , සිගරැට කොටයක් පැල කොට නොහෙන බව නොවැටහෙන, ගුරු සිත රිදවූ දරුවන්ගේ කාරුණික අවධානය උදෙසාත් , මම මේ සත්‍ය සටහන ‘සංසාරේ අපි’ වෙත මෙසේ මුසු කරන්නම්..
- http://sansaare.blogspot.com/