ලැයිකාගේ කතාව

ලැයිකාගේ කතාව

ලයිකා (තේරුම: “බුරන්නිය”, 1954 වසරේදී පමණ උපත ලබා 1957 නොවැම්බර 3 දින මිය ගියාය.) යනු සෝවියට් අභ්‍යවකාශගාමී ගැහැණු සුනඛයෙක් වූවාය. ඇය පෘථිවි කක්‍ෂයේ ගමන් කළ ප්‍රථම සත්ත්වයා බවට පත්වූ අතර පෘථිවි කක්‍ෂයේ මියගිය ප්‍රථම සත්ත්වයා බවටද පත්වූවාය.

ලයිකාගේ අභ්‍යවකාශ ගමන සිදුවන අවදියේදී, අභ්‍යවකාශ ගමනකින් සජීවී සත්ත්වයෙකුට ඇතිවන බලපෑම පිලිබදව කරුණු දැනසිටියේ ස්වල්පයකි. එමෙන්ම, කක්ෂගත කළ අභ්‍යවකාශ යානයක් නැවතත් පෘථිවියට ගෙන්වාගැනීමට අවශ්‍ය තාක්‍ෂණය ඒ වනවිට දියුණුවට පත්වී නොතිබුණි. විද්‍යාඥයෝ බොහෝදෙනෙකු විශ්වාස කළේ මිනිසුන් අභ්‍යවකාශයේ කක්‍ෂගත කිරීම හෝ කක්‍ෂයේ භෞතික තත්ත්ව හමුවේ ඔවුන්ගේ ජීවිත පවත්වා ගැනීම සිදුවිය නොහැකි බවයි. මිනිසුන්ට පෙර සත්ත්වයෙකු අභ්‍යවකාශ ගතකිරීම මූලික එමෙන්ම අත්‍යාවශ්‍ය පියවරක් වියයුතු බවට ඉංජිනේරුවරුන් සැළකුවේ එහෙයිනි.

ලයිකා, මොස්කව් නගරයේ වීදිවල අයාලේ ගිය සුනඛයකු විය. ඇගේ සත්‍ය පැටිකිරිය නිවැරදිව නොදන්නා අතර, ඇය අර්ධ වශයෙන් ආක්ටික් සුනඛ වර්ගයට හා ටෙරියර් ටෙර්‍රියර් වර්ගයට අයත් විය හැක. විද්‍යාඥයින්ගේ උපකල්පනය පරිදි එවන් සුනඛයෙකුට අධික සීතලට සහ අධික කුසගින්නට ඔරොත්තු දීමේ උපරිම හැකියාවක් තිබුණි. නිර්දේශයට අනුව තෝරා ගන්නා සුනඛයා කවලම් වර්ගයේ වියයුතු වූ අතර, බර කිලෝග්‍රෑම් 5 ක් සහ වයස අවුරුදු 3 ක් පමණ වියයුතු විය. මෙහෙයුමේ ප්‍රධානියාට අනුව ලයිකා ආකර්ෂණීය වූ අතර, නිශ්ශබ්ද සුනඛයෙකු වුවාය.

ලයිකා තවත් සුනඛයින් දෙදෙනෙකු, එනම් ඇල්බීනා සහ මුෂ්කා සමග පුහුණුවීම් කටයුතු වල නිරත විණි. ඇල්බීනා, ලයිකාගේ උපස්ථය වූ අතර මුෂ්කා ලයිකාට සවිකර තිබෙන සන්නිවේදක වලින් ලැබෙන සංඥා නිරීක්ෂණය සහ පාලනය කිරීම සඳහා පෘථිවියේම රැඳී සිටීමට සැලසුම් කර තිබුණි. රෙදි සෝදන යන්ත්‍රයකට වඩා මදක් විශාල වූ ස්පුට්නික් 2 හි ඉතා කුඩා මැදීරියේ රදවා තැබීමට හුරුවීම සදහා දින 20ක කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් වඩා කුඩා කූඩුවක රඳවන ලදි. මේ හේතුවන් ඔවුන් මුත්‍රා කිරීම හා මලපහ කිරීම නැවැත්වූ අතර ඔවුන් කලබලකාරී ස්වභාවයකට පත්විය. එමෙන්ම ඔවුන්ගේ සාමාන්‍ය ශාරීරික තත්ත්වයද පිරිහෙන්නට විය. විරේචකයන්ගෙන් ඔවුන්ගේ තත්වය යහපත් වූයේ නැත. දීර්ඝ කාලීන පුහුණුවකින් පසු පමණක් එලදායී ප්‍රතිඑල අත්වන බව පර්යේෂකයෝ අවබෝධ කරගත්හ.

සුනඛයන්ට කෙන්ද්‍රාපසරණය, කම්පනය සහ අධික ශබ්දය හුරුකිරීම සඳහා විවිධ යන්ත්‍ර තුල ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමුකරන ලදි. මෙය ඔවුන්ගේ නාඩි වැටීම දෙගුණ කිරීමට සහ රුධිර පීඩනය රසදිය මිලිමීටර් 30-65 දක්වා ඉහළ දැමීමට හේතුවිය. සුනඛයන්ට, අභ්‍යාවකාශයේදී ඔවුන්ගේ ආහාරය වන විශේෂිත අධිපෝෂී ජෙලි වර්ගයක් කෑමට පුහුණු කරන ලදි.

යානය දියත් කිරීමට ප්‍රථම එක් විද්‍යාඥයෙක් ඔහුගේ දරුවන් සමග සෙල්ලම් කිරීමට ලයිකා තම නිවසට රැගෙන ගියේය. පසු කාලයක ඔහු සඳහන් කර තිබුනේ ලයිකාගේ අවසානය ළඟාවීමට පෙර ඇය සතුටෙන් තැබීමට ඔහුට අවශ්‍ය වූ බවයි.

කෙසේ වුවද, අවසානයේදී ස්පුට්නික් 2 සොවියට් අභ්‍යවකාශ යානයෙහි නේවාසිකයා ලෙස තෝරාගත් ලයිකා, 1957 වසරේ නොවැම්බර් මස 3 වන දින කක්‍ෂගත කරන ලදි.

ලයිකාගේ සුවිශේෂි අභ්‍යවකාශ චාරිකාවට ආපසු පැමිණීමක් නොමැති බව ආරම්භයේ සිටම සෝවියට් විද්‍යාඥයෝ දැන සිටියහ. ඔවුන් ඇයගේ මරණය අතිශයෙන්ම මානුෂීය වන බව කියා සිටි අතර, රාත්තල් 250 ක් බරින් යුත් ස්පූට්නික් 2 යානයේ ඔක්සිජන් සැපයුම අවසාන වනතෙක් සුනඛයාගේ පෝෂණය සිදුකරන බව සහ ඇයගේ අත්‍යවශ්‍ය දත්ත ලබාගැනීමට කටයුතු කරන බව පවසා සිටියහ. ඉන් අනතුරුව වස මිශ්‍ර ආහාරයක් ලබාදීමෙන් වේදනාවකින් තොරව ලයිකාගේ මරණය සිදුවනු ඇත.

වසර ගණනාවක් තිස්සේ මෙම වීරෝදාර සුනඛයාගේ මානුෂීය මරණය පිළිබඳව සෝවියට් දේශය පැවසු දේ ලෝකය විශ්වාස කළහ. එහෙත් ලයිකාගේ ජීවිතයේ අවසානය ඉතා ඛේදනීය හා වේදනාකාරී විය.

2002 වසරේ, ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් නගරයේ පැවති ලෝක අභ්‍යවකාශ සමුලුවේදී හිටපු සෝවියට් විද්‍යාඥ ඩිමිට්‍රි මැලෂෙන්කොෆ් අනාවරනය කළේ ස්පුට්නික් 2 දියත් කර පැය ගණනාවක් ඇතුලත, ඉතා කෙටි කාලයක් තුල සැලසුම් කරනලද උෂ්ණත්ව පාලන පද්ධතියේ දෝෂ හේතුවෙන් කුටියේ ඇති වූ උෂ්ණත්වය ඉහළ යෑම නිසා ලයිකා මියගිය බවයි.

ලයිකාගේ මළසිරුර සමග පෘථිවි කක්‍ෂයේ මාස 5 ක වට 2,570 ක ගමනකින් පසුව, ස්පුට්නික් 2, 1958 වසරේ අප්‍රේල් 14 වන දින නැවත පෘථිවියේ වායුගෝලයට ඇතුළු වූ විට ගිනි ගන්නා ලදි.

  • සිසිර නිශාන්ත මානගේ …
History Sci & Tech