නිධන් ගොඩගැනීම සම්බන්ධ නීතිය.

නිධන් ගොඩගැනීම සම්බන්ධ නීතිය.

ශ්‍රී ලංකාව තුළ නිධන් ගොඩ ගැනීමට සම්බන්ධ වීම හේතුවෙන් සිරගත වන ප්‍රමාණය මෑතකාලීනව වැඩි වී ඇති බව පෙනේ.පුරාවස්තු ආඥාපනත සම්බන්ධව ඇති අනවබෝධය ද මෙවැනි ක්‍රියා ඉහල යෑමට බලපා ඇත.1940 අංක 09 දරණ සංශෝධන පනත මගින් සංශෝධනය වූ 1887 අංක 17 දරණ නිධන් වස්තු ආඥාපනත මේ සම්බන්ධ මූලික නීතිය වුවත් බොහෝවිට භාවිතයට ගැනෙනු පෙනෙන්නේ 1998 අංක 24 දරණ සංශෝධන පනතින් අවසන් වරට සංශෝධනය වූ 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥාපනත යි.එ නිසා පුරාවස්තු ආඥාපනත නිධන් ගොඩ ගැනීම සම්බන්ධව ක්‍රියාත්මක වන ආකාරය සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි .

පුරා වස්තුවක් යනු කුමක්ද යන්න මෙම පනතේ 16 වන වගන්තියේ අර්ථනිරූපණය කොට ඇත.ඒ අනූව 1815 මාර්තු 02 ට පෙර සිට පැවතී තිබෙන හෝ පැවතී තිබෙන්නේ යැයි විශ්වාස කරනු ලබන වස්තුවක් පුරාවස්තුවක් ලෙස හඳුනවයි.මෙම අර්ථනිරූපණය 1998 අංක 24 දරණ සංශෝධනය මගින් වෙනස් කරමින් වසර100 කට නොඅඩු කාලයක් පැවතී තිබෙන හෝ පැවතී ඇතැයි විශ්වාස කරනු ලබන වස්තුවක් පුරාවස්තුවක් ලෙස අර්ථනිරූපණය කරයි.පනතේ 15(ඈ) වගන්තිය දකවන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා යම් දෙයක් හෝ ස්ථානයක් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් දෙයක් හෝ ස්ථානයක් බවට සහතිකයක් ලබා දුන් විට එය සාක්ෂියක් ලෙස යොදා ගත හැකි බවයි.

යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පුරාවස්තු ආඥාපනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වූ විටෙක පොලීසිය විසින් මහේස්ත්‍රත් අධිකරණයට කරුණු වාර්ථා කිරීමක් සිදු කරනු ලබයි.පනතේ 15 (ඇ) වගන්තිය අනූව මෙම පනත යටතේ වන වැරදි සදහා කිසිඳු අධිකරණයකින් ඇප ලබා දිය නොහැකි ය.යම් හෙයකින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාරතාවේ මෙම අපරායටව ලක් වූ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නොමැති ස්ථානයක් බවට සදහන් වුවහොත් සැකකරුවන්ට ඇප ලබාගැනීමට හැකිය.එසේ නොවුනහොත් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිටීමට ඇපකරුවන්ට සිදු වනු ඇත.

මෙම පනත යටතේ අත් අඩංගුවට පත් වන පුද්ගලයන්ටද 1997 අංක 30 දරණ ඇප පනත අදාල වන බවට සමාජයේ දුර්මතයක් පවතී.එලෙස ඇප පනත අදාල නොවීමට හේතුව මෙයයි.ඇප පනතේ 03 වගන්තියේ සදහන් වන්නේ ඇප සම්බන්ධ ප්‍රකාශිත විධිවිධාන සලසා ඇති පනත්වලට ඇප පනත අදාල් නොවන බවයි.පුරාවස්තු ආඥාපනතේ 15 (ඇ) වගන්තියේ ඇප සම්බන්ධව දක්වා ඇති හෙයින් ඇප පනත මේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා පුද්ගලයන්ට බලපාන්නේ නැත.එබැවින් මෙනිසාම ඇප පනතේ 02 වගන්තියේ සදහන් “ඇප දීම රීතිය,ඇප ප්‍රතිකේෂ්ප කිරීම ව්‍යතිරේඛය” යන රීතිය ද පුරාවස්තු පනතේ නඩුකරවලට අදාල් නොවේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාරතාව තුළින් මෙම ස්ථානය හෝ වස්තුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් හෝ දෙයක් බවට සදහන් කරන අවථාවක සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කළ හැකිය.බොහෝවිට එම චෝදනා පත්‍රය පනතේ 15(ආ) වගන්තිය යටතේ සැකසේ.එම වගන්තියේ සදහන් වන්නේ පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශකිරීමට දායක වන,එවැන්නක් විරූපි කරන,හානි කරන,අයුතු ලෙස වෙනස් කරන,පළුඳු කරන අයෙකුට රුපියල් 50,000 නොඉක්මවන දඩයක් හෝ වසර 2කට නොඅඩු වසර 5කට නොවැඩි සිරදඩුවම් හෝ දඩය හා සිරදඩුවම් යන දෙකෙන්ම දඬුවම් කළ හැකි බවයි.චෝදනා පත්‍රයට මුල් අවස්තාවේදීම වරද පිළිගනු ලැබුවහොත් දඩයක් පමණක් නියම කිරීම අධිකරණ පරිචය යි.නමුත් සමාන ගණයේ පෙර වැරදි හෝ පවතින නඩු අවස්ථාවලදී සහ විනාශයට ලක් වූ ස්ථානය මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් වන විට විත්තිකරුවන් සම්බන්ධව ලිහිල්ව කටයුතු කිරීමට අධිකරණය පෙළඹෙන්නේ නැත.

නීතීඥ සාරංග වාදසිංහ

Art & Culture History Religious