බන්ධුල වර්ණපුරගේ ජීවිත ඉනිම නිම විය.

බන්ධුල වර්ණපුරගේ ජීවිත ඉනිම නිම විය.

ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ය යන හැඳින්වීමට වඩා බන්ධුල වර්ණපුර යන නාමය මගේ මතකයේ රැඳී ඇත්තේ ප්‍රතිපත්ති සහ ඉරණම පාර්ශ්වයෙන් අධ්‍යයනය කරන කල්හි වියෝ වූ සංගීතඥ එච්.එම්. ජයවර්ධන හා සමාන උත්තුංග මිනිසෙක් ලෙස ය.

අසූව දසකය මැද භාගයේ දී වෘත්තීමය මතභේදයක් මත මින් ඉදිරියට එක්තරා මහා ගායිකාවකට සංගීතය සපයන්නේ නැතැයි මෙරට බහුතරයක් සංගීතඥයින් සම්මුතියකට එළැඹුණ. ඒ අනුව ඒ වන විටත් ඇය වෙනුවෙන් ජනකාන්ත තනු නිමවා තිබූ එච්.එම් ජයවර්ධන ද එම සම්මුතියට අනුව කටයුතු කළේය. කාලය ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් අනෙක් සංගීතඥයන් තම සම්මුතිය වෙනස් කරමින් පෙර කී ගායිකාව වෙනුවෙන් තනු නිර්මාණය කරන්නට වූ අතර 2019 වසරේ අප දුටුවේ ඒ දක්වාම ප්‍රතිපත්තිය වෙනස් නොකළ එච්.එම්. ජයවර්ධන නම් සංගීතඥයාගේ මෘත දේහය ය. එච්.එම් නොමැති භූමියෙහි පහසුවෙන් ඉස්මතු වූ සමහර සංගීතඥයන් අදටත් මළවුන් මෙන් ජීවත් ව සිටිනු දකිනට හැක.

1982 වසරේ දී Arosa Sri Lanka ලෙස නම් කරනු ලැබූ ආන්දෝලනාත්මක දකුණු අප්‍රිකානු සංචාරය ට සහභාගී වූ ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වූ බන්ධුල වර්ණපුරට පෙරළා මව්රටට පැමිණි විට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය අහිමි විය. එවකට දකුණු අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදී ප්‍රතිපත්ති හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනමක් පනවා තිබූ අතර Arosa Sri Lanka සංචාරය මතභේදයට තුඩු දුන්නේ එබැවිනි. මෙරට ක්‍රීඩා බලධාරීන් වර්ණපුර ඇතුළු කණ්ඩායමට ම වසර විසි පහකට ක්‍රීඩා තහනමක් පැනවූ අතර වසර නමයකට පසුව, එනම් 1991 වසරේ දී එම තහනම ඉවත් කරන ලදි. නමුත් බන්ධුල වර්ණපුර නැවතත් කිසි දිනෙක ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළේ නැත. විධිමත් පරීක්ෂණයකින් තොරව පනවන ලද එම ක්‍රීඩා තහනම පසුපස වූ කරළියට නොපැමිණි බොහෝ කතන්දර අද දිනයේ සිට සදාකාලික රහස් ලෙස ඉතිහාසයට එක් වනු ඇත. එදා දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වන්නට සූදානම්ව හිඳ, එකඟව හිඳ යම් යම් හේතු මත ඒ සංචාරයට සහභාගී නොවූ සහ සූක්ෂ්ම ලෙස අවසාන මොහොතේ සංචාරය මග හළ සුප්‍රකට චරිත කිහිපයක් ම ක්‍රීඩකයින් දහ හතරක් දෙනෙක්ට ම පනවන ලද ක්‍රීඩා තහනමෙන් අනතුරුව නිතරගයෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු බවට පත් විය. ඒ සියල්ල දකිමින් යළි කිසිදා ක්‍රීඩා නොකළ බන්ධුල වර්ණපුර දසක ගණනක් ඒ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළම රැඳී සිටියේය.

සැබෑ බන්ධුල වර්ණපුර මිය ගියේ 2021 වර්ෂයේ ද නැත්නම් 1982 වර්ෂයේ ද යන ප්‍රශ්නාර්ථය ඉතුරු කරමින් ඉතිහාසයේ සිට අසීමිත දැරීමේ හැකියාවක් ප්‍රකට කළ ඒ උත්තුංග මිනිසා පාවාදීම්, කළකිරීම්, වේදනා සහ අමිහිරි මතක රැසක් පසු කර අප්‍රකාශිත මතකාවර්ජන රැසක් ඉතිහාසයේ ම තැන්පත් කර වෙන් ව ගොස් ඇත. මහතාණ; ඔබට සුබ ගමන් !
© – සහන් කසීර වික්‍රමසිංහ –

Lifestyle Sports & Leisure