සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය, සරත් දසනායකයන්

සිංහල සිනමා සංගීතය නව මානයක් කරා ගෙන ගිය, සරත් දසනායකයන්

සිංහල සිනමා සංගීතය තුල ඉතා මිහිරීවූත්,කන්කලු වූත්,කාලාන්තරයක් පුරා දෙසවනට මිහිරක් ගෙන එන්නට සමත් වූ ගී තනු නිර්මාණ රාශීයක් එතුමා සංගීත කලාව තුල බිහි කෙළේය… සැබැ සංගීතය වූ කලී ශ්‍රාවක දෙසවනට මිහිරක්,මනසට සුවයක් ගෙන එන්නාවූ විශ්ව භාෂාවකි. කර්ණරසායන සංගීත තනු නිර්මාණයන් තුලින් සරත් දසනායකයන් එය මනාව මෙරට සංගීත කලාව තුල ඉටු කෙළේය. මෙවන් දිනක එතුමාගේ මතක ආවර්ජනයක් මෙසේ ගෙන එන්නට මා අදහස් කලේ මා එතුමාගේ සංගීතය ඉතා ප්‍රිය කරන කලා රසිකයෙකු නිසාය.

1942-08-13 වැනි දින මොරටුව කටුකුරුන්දේදී දීපා මිල්ටන් සරත් දසනායක මෙලොව එලිය දුටුවේය. තරුණවියට එළඹෙත්ම සංගීත විෂය ඉගෙන ගන්නට තිබූ මහත් ආසාව නිසා හොරණ ශ්‍රිපාලියේ සංගීත නිකේතනයට එතුමා 1959-10~08 වැනි දින යන්නේ සංගීතය ඉගෙන ගන්නටය. සංගීත භාණ්ඩයන් අතරෙන් සිතාරය වෙත සිත ඇදී යන එතුමා සිතාරය වයන්නට මහත් වුවමනාවෙන් එය ප්‍රගුණ කෙළේය.

සිතාරයේ තත් හඬවන්නට සමත් කමක් ලද හෙතෙම 1963 දී එවකට සිනමා සංගීත කලාවේ නමක් දිනූ ආර්.මුත්තුසාමි මාස්ටර් සංගීත අධ්‍යක්ෂණය කල. ” උඩරට මැණිකේ ” චිත්‍රපටයේ වාදක වෘන්දයේ සිතාරය වයන්නට අවස්ථාව උදාකරගත්තේය.

දිනෙන් දින සිතාර් වාදකයෙකු ලෙස සිනමා පට කිහිපයක කටයුතු කරන්නට මග පෑදෙන එතුමාට එයින් සංගීත කලාවේ ඉදිරියට යන්නට මාර්ගය සැලසුනේය. 1966 දී රජයේ සංගීත විද්‍යාලයෙන් මුල්ම ගුරු පත්වීම ලබන එතුමා ගුරුවරයෙකු ලෙස සේවය කරමින් තම සංගීත කටයුතු ද මනාව ඉදිරියට කරගෙන යාමට සමත් වූවේය. 1969 දී කාලිංග ඔබේවංශ අධ්‍යක්ෂණය කල”ආලකමන්දා” වේදීකා නාටකයේ සංගීතය අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව ලබන එතුමා ඉන් සංගීතයේ තවත් ඉදිරි පියවරක් තබන්නට සමත් වුයේය. තම හිතමිතුරු වේහැල්ලේ පියතිලක සිනමා තිරරචනය ලියූ සරත්චන්ද්‍ර හේරත් අධ්‍යක්ෂණය කල”සිතිජය” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වීමේ මහඟු වරම මේ අතර ඔහුට හිමි විය.
“සිතිජය” චිත්‍රපටය ආර්ථික අතින් සාර්ථක චිත්‍රපටයක් නොවූවද ප්‍රථමවරට පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ගී තනුවක් නිර්මාණය කිරීමට එතුමාට ඉඩ හසර ලැබීම සුවිශේෂි කරුණක් විය.

තවත් කුළුපගු මිත්‍රයෙකු වූ සෝමපාල ලීලානන්දගේ මග පෙන්වීමෙන් ජේ.කේ.චාල්ස් පෙරේරා අධ්‍යක්ෂණය කල”විශ්මය” චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කිරීමට එතුමාට අවස්ථාව ලැබුනි. එහි ගීත හතක තනු නිර්මාණය කරමින් විශාල වාදක වෘන්දයක් හසුරවන්නට එතුමා සමත් විය.

සෝමපාල ලීලානන්දගේම මග පෙන්වීමෙන් සිනමා නිෂ්පාදක සේන සමරසිංහයින් හඳුනා ගන්නා සරත් දසනායකයන්ට සේන සමරසිංහ නිෂ්පාදනය කල “සදහටම ඔබ මගේ” චිත්‍රපටයේ සංගිතය අධ්‍යක්ෂණය කිරීමේ මහඟු අවස්ථාව හිමි විය.
1973 දී සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය අරඹමින් තිරගත වූ තවත් අතිසාර්ථක විනෝදාත්මක සිනමා පටයක් වූ මේ චිත්‍රපටයේ එතුමා නිර්මාණය කල මිහිරි තනු නිර්මාණයන් ඇතුලත් වූ ගිතයන් සිනමා ප්‍රේක්ෂකයින් මහත් ආසාවෙන් වැළඳගත් බව කියවේ.

මේ චිත්‍රපටයේ ඉතාම මිහිරි තනු ගී කිහිපයක් ඇතුලත්ව තිබුණි.
අමර පෙම් ලතාවේ (ජෝති-ඇන්ජි)
වාසනාව දොර ඇරලා බලනවා (ජෝති-එම්.එස්
දැසේ මාගේ සැතපෙනා (ජෝති-ඇන්ජි)
පෙම් රස වැහෙන මංගල ගීතේ ජිවිතේ (වික්ටර්-ඉන්ද්‍රානී පෙරේරා)
යන ගායක ගායිකාවන් ගැයු සිනමා ගීත ඉතාම කන්කලු සහ කර්ණරසායන විය. සිනමා ගීත ශ්‍රාවකයන් වෙනම ලෝකයට රැගෙන යන්නට මේ තනු නිර්මාණයන් සමත් වූ බව කිවයුතුමය.

වර්තමානයේදී ද එම ගීත මහත් ජනප්‍රසාදයක් ලබයි. සරත් දසනායක තම සංගීත අනන්‍යතාවය තම නිසග හැකියාවෙන් කෙමෙන් කෙමෙන් සිනමා සංගීත කලාව තුල ගොඩනගාගත්තේය. නැවුම් ගී මිහිරක් ශ්‍රාවක රසික කැල වෙත ගෙන එන්නට දසනායකයන් සමත් වුනේය. එතෙක් සිනමා ගී ලොව රජකරමින් තිබු හිංදි,දෙමළ අනුකාරක වාදි සංගීතය සමග ස්වතන්ත්‍ර මිහිරි තනු නිර්මාණය කරමින් සරත් දසනායක තනිව අරගලයක් කෙළේය.

එම අනුකාරක ගීත ගායනාවන් වෙනුවට එතුමා තැනූ තනු නිර්මාණයන් රසික රසිකාවියන් අමන්නානන්දයට පත් කිරීමට සමත් විය. ව්නෝදාත්මක සිනමාවේ වාර්තා තැබූ සිනමාපට රැසක සංගීත අධ්‍යක්ෂකවරයා සරත් දසනායකය. එම චිත්‍රපට වලට ඔහු නිර්මාණය කල මිහිරි තනු නිර්මාණයන් නිසාම එකල එම චිත්‍රපට ආදායම් ඉපයීම් අතින්ද ඉතාම අතිසාර්ථකව තිරගත වුනි.

ඒ චිත්‍රපට අතර

  • කස්තුරි සුවඳ
  • නිල්ල සොයා
  • සංගීතා
  • ආවා සොයා ආදටේ
  • චණ්ඩි පුතා
  • හිතුවොත් හිතුවමයි
  • ආශා දැසින්
  • යකඩයා
  • උන්නත් දාහයි මලත් දාහයි
  • අංජානා
  • නැවත හමුවෙමු
  • ජය සිකුරුයි
  • මිහිඳුම් සිහින
  • සුමිතුරෝ
  • සසර චේතනා

යන චිත්‍රපට මෙන්ම කලාත්මක සිනමා ධාරවේ නිර්මාණය වූ

  • එයා දැන් ලොකු ළමයෙක්
  • දුහුළු මලක්
  • චූඩා මාණික්‍යය
  • ආයාචනා
  • තණගිරවි
  • එක් ටැම් ගේ
  • දඩු මොණර
  • අහිමි දඩමං
  • පස මිතුරෝ
  • ජීවිතයෙන් ජීවිතයක්,

වැනි චිත්‍රපට සඳහාද එතුමා නිර්මාණය කල සංගිත රටාවන් ඉතා ප්‍රශස්තය. එතුමා සිනමා සංගීතයේ නව වෙනසක් කරමින් ජනප්‍රිය මෙන්ම භාවපූර්ණ සිනමා ගිත රැසක් නිර්මාණය කලේය. ඒ අතරින්

  • අමර පෙම් ලතාවේ(සදහටම ඔබ මගේ)ජෝති-ඇන්ජි
  • මියුරු කල්පනා(දිණුම් කනුව)වික්ටර් රත්නායක
  • ඉරට අකීකරු සඳට අකීකරු(දිණුම් කනුව)ඉන්ද්‍රාණි පෙරේරා
  • පාට පොදක් තිලකලා(කස්තුරි සුවඳ)ජෝති-ඇන්ජි
  • හද විමන් දොරින්(කස්තුරි සුවඳ)ජෝති-ඇන්ජි
  • ලස්සන ලෝකේක ඉපදීලා(කස්තුරි සුවඳ)ජෝති
  • පෙම්වතියන්නේ(කස්තුරි සුවඳ)ඇන්ජිලීන් ගුණතිලක
  • රන් මසුරන් කිරි ගරුඬ ත්ලාවක (ආවා සොයා ආදරේ)
  • රොන් සොයා(ආවා සොයා ආදරේ)ලතා වල්පොල
  • ලෝකයේ වෙනස් වුනේ(සංගීතා)ජෝති
  • සල් සපුනා(සංගීතා)ජෝති
  • ඉර සඳ වැඳලා(සංගීතා)ජෝති-ඇන්ජි
  • මී පිරුනු සුවඳ මල්(සංගීතා)ජෝති-ඇන්ජී
  • බොඳ මීදුම් කඳුරැල්ලේ(දුහුළු මලක්)අබේවර්ධන-සුජාතා අත්තනායක
  • රන් කෙන්දෙන්(දුහුළු මලක්)නන්දා මාලනී
  • රෝමය ලෙසේ(දුහුළු මලක්)මිල්ටන් මල්ලවාරච්චි
  • රන් දුනු හී දරා(උන්නත් දාහයි මලත් දාහයි)ජෝති-ඇන්ජි
  • නිල්මිණි සැංඟී පාවේ(උන්නත් දාහයි මලත් දාහයි)ලතා වල්පොල
  • යෞව්වන උයනේ(නිල්ල සොයා)මිල්ටන්-ඇන්ජී
  • මියුරු පෙම් මදිරාවේ(නිල්ල සොයා)මිල්ටන්-ඇන්ජී
  • කෙල්ලේ මා ආදර කෙල්ලේ(නිල්ල සොයා)මිල්ටන් මල්ලවාරච්චි
  • සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ(නිල්ල සොයා)ඇන්ජිලීන් ගුණතිලක
  • මා එදා(හිතුවොත් හිතුවාමයි)ඇන්ජිලින් ගුණතිලක
  • චුක්කි චුක්කි කියලා(හිතුවොත් හිතුවාමයි)වික්ටර්-ලතා
  • පිනි දියෙන් විකසිතව(එයා දැන් ලොකු ළමයෙක්)නන්දා මාලනී
  • තනියේ ආවාරේ(චන්ඩි පුතා)ජොති-ඇන්ජී
  • අම්මලා දුක් ගන්නේ(චන්ඩි පුතා)ලතා වල්පොල
  • බඹරා වගේ(චන්ඩි පුතා)ජෝති
  • ආශා රැලී දැසේ වෙලී(යකඩයා)ජෝති-සුජාතා
  • ලස්සන නම් නෑ පෙනෙන්නේ(විශ්මය)සනත් නන්දසිරි
  • මුව මදහාසේ සීපද රාවේ(ආශා දැසින්)මිල්ටන්
  • උන්මාද සිතුවම්(එක් ටැම් ගේ)ගුනදාස කපුගේ
  • කීන දං මිටක්(චංචල රේඛා)මිල්ටන්-නීලා
  • මී අඹ අත්තේ(චංචල රේඛා)මිල්ටන්-නීලා
  • සරා සඳේ(මිහිඳුම් සිහින)ජෝති
  • සිහින අහසේ වසන්තේ(නැවත හමුවෙමු)ජෝති-ඇන්ජි~ග්‍රේෂන්
  • බෝධියේ විහාරයේ(ඇතින් ඇතට)නීලා වික්‍රමසිංහ
  • හිම කඳු යහනේ(සසර චේතනා)ග්‍රේෂන්-නිරංජලා
  • බුදුනේ බුදුපියාණෙනි(සසර චේතනා)ෂෙල්ටන් පෙරේරා
  • හිම රේණු වැටෙනා සීතලේ(ආත්මා)ග්‍රේෂන්-ලතා
  • නිල්ල නගන ස්වර්ණ කිංකිණී රාවේ(නිල්ල සොයා)මිල්ටන් මල්ලවාරච්චි
  • සක්වල එතෙරට ඇසෙනා(ගෙදර බුදුන් අම්මා)නන්දා මාලනී-එඩ්වඩ් ජයකොඩි
  • කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා(ඇතින් ඇතට)මිල්ටන්-ප්‍රියා-ග්‍රේෂන්

ඒ ගී සයුරෙන් දෝතකි.

ටෙලි නාට්‍යන් කිහිපයකටද එතුමා සංගීතය සැපයුවේය.ඒ ටෙලි සිත්තම් අතර

කුමාරසිරි අබේකෝන්ගේ”ලොකු අයියා”
මාලීනී ෆොන්සේකාගේ”නිරුපමාලා”
තිමති වීරරත්නගේ”රේල් පිලී”
බෙනට් රත්නායකගේ “තරු”යන ටෙලි නාට්‍යන් වේ.

මේ අතරින් බෙනට් රත්නායකගේ “තරු”ටෙලි නාට්‍යය උදෙසා එතුමා ප්‍රශස්ත සංගීතයක් නිර්මාණය කල බව රසික අප දනිමු. සුවහසක් ගීත ශ්‍රාවකයින් උදෙසා ගායක ගායිකාවන් රාශියකට කැසට් පට සඳහාද එතුමා සංගීත අධ්‍යක්ෂණය කලේය. ඒ මිහිරි ගී තනු නිර්මාණයන් තවමත් ශ්‍රාවක අප සවන් සනසවයි.

පන්ඩිත් අමරදේවයින් උදෙසා

“පාවෙනා නිල් වලාවේ”
“රැ දුරු රට මේ හිම වරුසා සීත පාරුවේ”

නන්දා මාලනිය උදෙසා
“නිම්වළල්ලෙන් එපිට සඳ රැස්”
“සංසාර සාගරය ජිවිතේ යාත්‍රාව”
“වසන්තේ නිදාවුන් යොවුන් කෝකිලාවන්”
“බුදු කරුනා දැස තෙමී”

ටී.එම්.ජයරත්නයින් උදෙසා
“ඔරුව වසා”

මිල්ටන් මල්ලවාරච්චි උදෙසා
“සැන්දැයාමේ රන්තරු යායේ”
“නීල දැස දැසේ සතපාලා”
“පෙර එක දවසක”
“ඔබ වෙනුවෙන් ලියු”

චන්ද්‍රලේඛා පෙරේරා වෙනුවෙන්
“මගේ දින පොතේ”

නීලා වික්‍රමසිංහ වෙනුවෙන්
“චූටී නංගියේ”
“පාරමී දම් පුරමු අප දෙන්නා”
“සඳ බොඳවී”

සුජාතා අත්තනායක වෙනුවෙන්
“පුංචි දවස්වල නින්දට යද්දී”

දයාරත්න රණතුංග වෙනුවෙන්
“මල් පිපිලා ජිවීත උයනේ”
“සිව් වසරක් තුල පෙම් සිහිවටනය”

වැනි රසාලිප්ත මිහිරි තනු රාශියක් එතුමා අතින් නිර්මාණය විය.

මෙවන් ගී තනු වර්තමානයේද සැබැ ශ්‍රාවක සවන් සිත් සුවපත් කරන්නේය.

ටී.එම්.ජයරත්න
නීලා වික්‍රමසිංහ
චන්ද්‍රලේඛා පෙරේරා

ග්‍රේෂන් ආනන්ද යන ගායක ගායිකාවන් මුලින්ම සිනමා පටයකට ගීත ගායනා කලේ සරත් දසනායකයින් සංගීතවත් කල චිත්‍රපට වෙනුවෙන් වීම විශේෂත්වයකි.

ටී.එම්.(සිතිජය)
නීලා(අශා දැසින් )හී අනනංග රන් හී ගීතයේ සමූහ ගායනය
චන්ද්‍රලේඛා (යලි හමුවෙන්නයි)
ග්‍රේෂන් (මල් කැකුලු)
සිනමාපටයේ රිද්මය තම ස්වර රටාවන්ගෙන් ඉතා සංයමයෙන් ප්‍රේක්ෂකයාට බද්ධ කරන්නට එතුමා දක්ෂ සංගීත වේදියෙක් වුවේය. එසේම එතුමා “මිහිඳුම් සිහින”, මධු සිහින, ආත්මා, යන සිනමාපට නිෂ්පාදනය කරමින් සිනමාව කර්මාන්තයක් සේ නගා සිටුවීමට උර දුන්නේය.

නිසි ඇගයීමක් එතුමා ජීවත් ව සිටි කාලයේදී එතුමාට ලැබුනේ නැති වග අප දනිමු. ගරු නම්බු නාම පදක්කම් එතුමාගේ සංගිතය අගයා මෙරට කලා ලොවෙන් එතුමාට හිමිවුයේ නැති තරම්ය. එසේවුවත් එතුමාගේ නිසග හැකියාව වෙනුවෙන් සරසවි,ජනාධිපති කුසලතා සම්මානයන්ගෙන් පුද ලබන්නට එතුමාට සුළු අවස්ථාවන් කිහිපයකදී හැකිවිය.

සරසවි සම්මාන 3ක්ද
කුසලතා සම්මාන 1ක්ද
කුසලතා පදක්කමක්ද එතුමා සම්මාන වලින් දිනාගෙන ඇත.
සසර චේතනා (1984)
හොඳම සංගීත අධ්‍යක්ෂණය
සරසවි සම්මානය
මුවන්පැලැස්සේ කදිරා (1992)
හොඳම සංගීත අධ්‍යක්ෂණය
සරසවි සම්මානය
චායා(1993)
හොඳම සංගිත අධ්‍යක්ෂණය
සරසවි සම්මානය
ඇතින් ඈතට(1984)
කුසලතා සහතිකය
සරසවි සම්මානය
පරසතුරො(1985)
ජනාධිපති කුසලතා පදක්කම යන සම්මාන එතුමාට හිමි විය.

හේවිසි,බෙරය, ඔහුගේ අණ වැකුනු සැනින් රඟන්නට ගනියි. වලීනය,සිතාරය,බටනලාව ඔහු අණ වැකුනු සැනින් එකිනෙක නාද වෙන්නට ගනියි. ඕබෝ,සෙක්සෆෝන්,ක්ලැරිනට්,ඩ්‍රම් සෙට් ඔහු අණින් මොහොතින් සලිත වෙන්නට ගනියි. ජෝති-ඇන්ජි,ඔහු අණ වැකුනු සැනින් ගයන්නට ගනියි. මේ අතරින් කවුරු වයතත්,කවුරු ගයතත්,සිංහලකමත්,සිංහල ආරයත් මනාව මතුවී තිබුනේය. සිංහල හදවත ගැස්සෙන තාලය,ඔහුගේ තාලයයි, දැ අනුරාගය ඔහුගේ රාගයයි,රාවයයි

සරත් දසනායකයින් ජනප්‍රිය සිනමා සංගීතයේ වෙනත් සංගීතඥයින්ගෙන් වෙනස්ම ආරක ගිය සංගීතවේදියෙකු වන්නේ මේ නිසාමය. සිංහල රාගධාරි සංගීතයත් ,ජන ගී ආශ්‍රිත සංගිතයත් සම්මිශ්‍රණය කරමින් සිංහල සිනමා සංගිතය තුල ඉතා විශිෂ්ට මෙහෙවරක් ඉටු කල මේ මහා සංගිතවේදියාණන් සිනමාව,කැසට්පටය,ගුවන් විදුලිය,ටෙලිනාට්‍ය සංගිතය අරබයා කල විශිෂ්ට සේවාවට මාගේ මේ කෙටි සටහන උපහාරයක් වේවා.

එතුමා වැයු සත්සර රාවය විසි දෙකක් පුරා අප සවන් පත් වලින් මැකි ගොස් නැත.මැකී යන්නේද නැත. සත්සරවේදී සරත් දසනායකයකයින්ගේ විසි දෙවෙනි ගුණානුස්මරණය අදට යෙදී තිබේ. එතුමා වන් විශිෂ්ට සංගීතවේදීයාණන් කෙනෙකු නැවත අප ජීවත්වන්තුරා අපට මුන නොගැසෙනු ඇත.එතුමා වෑයූ අතීත සංගීත රටාවන් සමග සිත සැබැ සංගීත රසයෙන් සුවපත් කර ගැනීමට මා නිරන්තරයෙන් උත්සාහ කරමි. මේ වසර විසි දෙකක් පුරා මා එය කලෙමි.

මා ලියූ මේ සටහන එතුමාට උපහාරයක්ම වේවා.
සරත් දසනායක සත්සරවේදීයාණෙනි ඔබ අප හදවත් වල ජීවත් වන සැබැ සත්සරවේදියාණන් කෙනෙකි
ඔබතුමාට නිවන් සුව අත්වේවා.

  • රෝහන් සෙනෙවිරත්න
Art & Culture Entertainment History Lifestyle