මිග් 27 කුප්‍රකට ගනුදෙනුව සමග හැප්පුණු ලසන්ත වික්‍රමතුංග

මිග් 27 කුප්‍රකට ගනුදෙනුව සමග හැප්පුණු ලසන්ත වික්‍රමතුංග

තට්ටුමාරු ආණ්ඩුකරණයේදී සෑම ආණ්ඩුවක් තුළම සිදුවූ දැවැන්ත වංචා දූෂණ රැසක් හෙළිදරව් කිරීමට ලසන්ත වික්‍රමතුංග සමත්විය. ඒ සියල්ල රටේ උන්නතිය සදහා මිස ඔහුගේ වැට මායිම් පුළුල් කර ගැනීම සදහා වූ හෙළිදරව් කිරීම් නොවේ. මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ කුප්‍රකට ගනුදෙනුවද ඔහු රටට හෙළිරදරව් කළේ එලෙසම ය. එකී හෙළිදරව්ව තමාගේ මාධ්‍ය ජීවිතයේ තීරණාත්මක හෙළිදරව්වක් වනු ඇතැයි ඔහු සිහිනෙන් වත් නොසිතන්නට ඇත.


මිග් 27 ප්‍රහාරක යානා හයක් මිලට ගැනීමේ ඉතිහාස කතාව
වර්ෂ 2006 දී යුද්ධය ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් 27 ප්‍රහාරක යානා හයක් මිලට ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ආ එම යෝජනාවට එවකට ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා මහතා ප්‍රතිචාර දක්වා ඇත්තේ 2000 වර්ෂයේ මෙන් යුක්රේනයෙන් මිග් 27 යානා මිලට නොගෙන ඇමෙරිකාව , ඊශ්‍රායලය හෝ වෙනත් රටකින් මිලදී ගැනීම සුදුසු බවයි. ඊට හේතු වශයෙන් 2000 මිලදී ගත් ප්‍රහාරක යානාවල තිබූ බරපතල තාක්ෂණික දෝෂ සහ විදින්නට සිදුවූ පාඩු ඔහු ගෙනහැර දක්වා ඇත.


2006 පෙබරවාරි 06 පෙරගුඩේව් මැදිහත් වීම

ගුවන් හමුදාපතිවරයා ඉහත ප්‍රතිචාර දැක්වූ සාකච්ඡාව පවත්වා ඇත්තේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ සාකච්ඡාවට එවකට රුසියාවේ තානාපතිව සිටි උදයංග වීරතුංග සමග යුක්රේන් ජාතික ඩිම්ට්‍රෝ පෙරගුඩෝව් නමැත්තෙකු ද සහභාගිවී ඇත. ගුවන් හමුදාපතිවරයා සිය ප්‍රතිවිරුද්ධ මතය දක්වා ඇත්තේ ඉහත ඩිම්ට්‍රෝ පෙරගුඩෝව්ගේ මිග් 27 පිළිබද වර්ණනාත්මක කරුණු පැහැදිලි කිරීමි හමුවේය.


උදයංග වීරතුංගගේ සහතිකය
මෙහිදී උදයංග වීරතුංග සහතික වී ඇත්තේ 2000 වර්ෂයේදී මිග් 27 ගනුදෙනුවට සම්බන්ධ වූ ‘ඩී. එලයන්ස්’ සමාගම මේ ගනුදෙනුවට සම්බන්ධ නොමැති බවයි. කෙසේ වෙතත් ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමකින් තොරව අවසන් තීරණයක් දීම අපහසු බවකි. ඒ අනුව අවසන් තීරණයකින් තොරව පෙබරවාරි 06 සාකච්ඡාව අවසන් වී ඇත. ගුවන් හමුදාපතිවරයා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග මෙකී ගනුදෙනුව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එකී සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මතය වී ඇත්තේ 2000 වර්ෂයේදී වූ වරද නැවත සිදු නොවිය යුතු බවයි. ඊට අමතරව ඔවුන් දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ මෙවන් මිලදී ගැනීමකදී යෝජනාව ඉදිරිපත් විය යුතුව ඇත්තේ යුක්රේන් ජාතිකයකු ගෙන් නොව ගුවන් හමුදාවෙන් බවයි.


ගුවන් හමුදාපතිවරයා එක් දිනකින් කණ පිට පෙරළෙයි
යුක්රේනයෙන් මිග් 27 මිලට ගැනීමට පෙර දින අප්‍රසාදය පළ කළ ගුවන් හමුදාපතිවරයා ඊට පසු දින ගුවන් හමුදාවේ යෝජනාවක් ලෙස 06 දින පෙරගුඩේව් ඉදිරිපත් කළ යෝජනාවම නැවත ඉදිරිපත්කර තිබේ. මෙය අපූරු විගඩමකි.


කඩිනම් මිලදී ගැනීම
යුක්රේන ජාතික පෙරගුඩේව් ඉදිරිපත් කරන ලද පසුව ගුවන් හමුදාවේ යෝජනාවක් බවට පරිවර්තනය වූ මිග් 27 ප්‍රහාරක යානා 06 ක් මිලට ගැනීම ආණ්ඩු දෙකක් අතර ගනුදෙනුවක් යැයි හුවා දක්වා වෙනත් තරගකාරී සැපයුම් කරුවන් සෙවීමද අනවශ්‍ය යැයි තීරණය කර තිබේ.
2000 දී ඩොලර් මිලියන 1.2 ක් වූ ප්‍රහාරක යානාවක් 2006 දී ඩොලර් මිලියන 2.4 කට තුන්වැනි පාර්ශ්වයකින් මිලට ගැනීම


ලසන්තගේ හෙළිදරව්ව
තරගකාරී ටෙන්ඩර් කැදවීමකින් තොරව රාජ්‍යයක් , තවත් රාජ්‍යයක් අතර පැවැති ගනුදෙනුවක් යැයි හගවා තුන්වැනි පාර්ශ්වයකින් එකක් ඩොලර් මිලියන 2.4 බැගින් යුක්රේනයේ නිෂ්පාදිත මිග් 27 ප්‍රහාරක යානා 06 ක් මිලට ගැනීමේ කතාව එම හෙළිදරව්වයී. එකී හෙළිදරව්වට අනුව තුන්වෙනි පාර්ශවය ලෙස මුදල් ගෙවා ඇත්තේ එංගලන්තයේ ‘බෙලිමිස්ස හෝල්ඩීන්’ නමති සමාගමක් වෙතය. බෙලිමිස්ස හෝලංඩීන්ස් වෙත අදාළ ණයවර ලිපිය නිකුත් කර තිබුණේ මහජන බැංකුව බවද ලසන්ත වික්‍රමතුංග හෙළිදහ කර තිබුණි. රාජ්‍යයන් දෙකක් අතර වූ ගනුදෙනුවක් නම් වෙනත් පාර්ශවයකට මුදල් ගෙව්වේ ඇයි දැයි ලසන්ත ප්‍රශ්න කර තිබුණි.


බෙලිමිස්ස හෝලංඩීන්ස් යනු භාණ්ඩ ප්‍රවාහන සමාගමක්
තවදුරටත් කරුණු හෙළිදරව් කළ ලසන්ත කියා සිටියේ මිග් 27 මිලට ගැනීම වෙනුවෙන් මුදල් ගෙවා ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන සමාගමකට බවත් , එහි සදහන් ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බවත්ය. මෙකී හෙළිදරව්වට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශය නොයෙක් ප්‍රකාශ නිකුත් කළද ඒ සියල්ලට ලසන්ත සිය පුවත්පතෙන් පිළිතුරු දුන්නේ ය.


Sunday Leeder පුවත්පතට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා නඩු පැවරීම
මිග් 27 ගනුදෙනුව පිළිබඳ තමන්ට අපහාස කළ බව කියමින් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එක්තරා එවන් ලද අතර ලසන්ත වික්‍රමතුංග එකී එන්නරවාසියටද අභියෝග කරමින් දිගින් දිගටම තම හෙළිදරව්ව ඉදිරියට ගෙන ගියේය. ඉන්පසු ආරක්ෂක ලේකම්වරයා ලසන්තට එරෙහිව නඩු පැවරෑ අතර , එවැනි නඩුවක් පවරා ඇති හෙයින් තවදුරටත් එම ගනුදෙනුව ගැන ලිවීම අත්හිටුවමින් වාරණ නියෝගයක් ද ලබා ගත්තේය. එකී වාරණ නියෝගයට එරෙහිව ලසන්ත අභියාචනාධිකරණයට ගිය අතර එම අභියාචනය විභාගයට ගැනීමට නියමිතව තිබියදී ලසන්ත ඝාතනයට ලක්විය.


ලසන්ත ඝාතනයෙන් පසු Sunday Leeder ආයතනය වෙනත් පාර්ශවයක් මිලට ගැනීම
ලසන්ත ඝාතනයෙන් පසු වැඩිකල් නොගොස් Sunday Leeder (Leeder Publication) අසංග සෙනෙවිරත්න නමැත්තෙකු විසින් මිලට ගත්තේ ය. අසංග සෙනෙවිරත්න යනු නාමල් රාජපක්ෂගේ ක්‍රීඩා උපදේශක හිතවතෙකි. ඔහු Sunday Leeder පුවත්පත මිලට ගැනීමෙන් පසු මිග් 27 ගනූදෙනූවට අදාළ පෙර පළ කිරීම් සියල්ල නිවැරදි නොවන බව ප්‍රසිද්ධ කළේ ය. ඉන්පසු පුවත්පතට එරෙහිව පනවා තිබූ නඩුවද ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා අස්කර ගනු ලැබීය.

ශ්‍රීපති සූරියආරච්චි අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම
මිග් 27 ගනුදෙනුව පිළිබඳව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චි මහතාද පැමිණිල්ලක් ගොනු කළ අතර එකී නඩුවේ විමර්ශන ආරම්භ වීමට පෙර ඔහු සිය ජීප් රථය හදිසි අනතුරකට භාජනය වී එතැනම මිය ගියේය. ශ්‍රීපති සූරියආරච්චි අභාවයෙන් මාස කිහිපයක් ගත වුවද ඔහු අල්ලස් කොමිසමේ ගොනුකළ පැමිණිල්ල විමර්ශනය නොකෙරුණි.


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් පියසේන රණසිංහ මහතා වහාම මාරුකර යැවීම
ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ පැමිණිල්ල විමර්ශනය නොවීම ගැන පාර්ශ්ව කිහිපයක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ගෙන් විමසා සිටියේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ පුද්ගලයකු මිය ගිය හොත් , ඔහුගේ පැමිණිල්ල අහෝසි වෙනවාද යන්නයි. ඔහුගේ පිළිතුරු වුයේ නැත යන්නයි. කෙසේ වෙතත් සතියක් දෙකක් යන විට එකී පැමිණිල්ල පිළිබද විමර්ශන ආරම්භ වූ අතර තවත් සතියක් යෑමට මත්තෙන් කොමසාරිස් ජනරාල් වරයි වහාම ක්‍රියාත්මකවන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුකර යැවීය. පියසේන රණසිංහ යනු සූරිය කන්ද මිනිවළවල් කැණීමේදී ඊට නියෝග දුන් එවකට රත්නපුර මහේස්ත්‍රාත් වරයා ය. ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කළේ පුටුවක් මේසයක්වත් නොමැතිව ය.එකී මාරු කිරීම මුළුමණින්ම නීති විරෝධී වුවත් ඔහු ඊට එරෙහිව නීතිය හමුවට නොගියේ ය.


අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ශ්‍රීපති පැමිණිල්ල ඉවත දැමීය
පියසේන රණසිංහ මහතා ඉවත් කිරීමෙන් පසු එම තනතුරට පත්වූ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉහත පැමිණිල්ල විමර්ශනයට තරම් සාක්ෂි නොමැති බව පවසා ඉවත් දමනු ලැබීය.
2015 යහපාලන ආණ්ඩුව නැවත පරීක්ෂණ ආරම්භ කිරීම.
යහපාලන රජයේ FCID ය මිග් 27 ගනුදෙනුව ගැන නැවත පරීක්ෂණ ආරම්භ කළ අතර , අදාළ ගනුදෙනුවේදී මුදල් ගෙවා තිබූ බෙලිමිස්ස හෝල්ඩීන්ස් සමාගම ‘බිට්‍රිෂ්වර්ජින් අයිලන්ඩ්’ දූපත් සමූහයේ ඇති සමාගමක් බවට තහවුරු කර ගැනුණි. එහි හිමිකාරීත්වය තිබී ඇත්තේ ටී.ඇස්. ලී නමැත්තෙකුට සහ ඩී.එස්. එලයන්ස්’ නමැති සමාගමකට ය. 2000 දී චන්ද්‍රිකා රජය මිග් යානා මිලට ගෙන ඇත්තේ ද මේ සමාගම හරහා ය. මේ අතරතුර යුක්රේන රජයද අදාළ ගනුදෙනුව පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සමග යුක්රේන රජයට අයත් කිසිදු සමාගමක් මෙවැනි ගනුදෙනුවක් සිදුකර නොමැති බවයි.
මේ අතර යුක්රේන රජයට අයත් ‘යුක්රේන් මාෂ්’ සමාගම විසින් ඩී.එස්. එලයන්ස්’ සමාගමට ඩොලර් මිලියන 01 කටත් අඩු මිලකට මිග් 27 යානා විකුණා ඇති බවද FCID සොයා ගෙන තිබුණි. ඩී.එස්. එලයන්ස්’ සමාගම ඩොලර් මිලියන 2.4 කට ශ්‍රී ලෛකාවට විකුණා ඇත්තේ එම මිග් යානා බවද තහවුරු කර ගෙන තිබුණි. මේ කූප්‍රකට ගනුදෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 8.5 ක් පමණ අලාභයක් සිදුවී ඇති බවද එදා ගණනය කර තිබුණි.
මෙකී ගනුදෙනුවේ අතරමැදියා ලෙස උදයංග වීරතුංගට එරෙහිව නඩු පැවැරෑ අතර ඔහු දිගින් දිගටම අධිකරණය මග හැරීම නිසා අන්තර් ජාතික රතු වරෙන්තුවක් ද නිකුත් කරවා ගැනීමට එවකට රජය ක්‍රියා කළේය.
දැන් රට ගොඩ නගන්න හදන්නේ උදයංග වීරතුංගයි
නව ජනාධිපතිවරයා පත්වුණු සැණින් ශ්‍රී ලංකාවට සැපැත්වූ උදයංග වීරතුංග මේවන විට ලංකාවේ සංචාරයක ව්‍යාපාරය නංවා රට ගොඩ ගැනීමට දගලමින් සිටියි.
මිග් 27 ගනුදෙනුවෙන් රටට වූ පාඩුව ගැන දැගලූ ලසන්ත වික්‍රමතුංග රටට අහිමි වුණා මිස ඒ හෙළිදරව්වෙන් රටට කිසිවක් ලැබුණේ නැත.

  • පෝද්දල ජයන්ත
History Human Rights Law & Order Political